4. 2. 10.
දසවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි චණ්ඩකාළී මෙහෙණ මෙහෙණන් සමග කලහ කොට තමාට පැහැරැ පැහැරැ හඬයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් ආර්‍ය්‍ය චණ්ඩකාළී තමාට පැහැරැ පැහැරැ හැඬූ”දැ යි. ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැර හැඬූ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ තමාට පැහැරැ පැහැරැ හැඬූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තමාට පැහැරැ පැහැරැ හඬා නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
අත්තානං: තමා කෙරෙහි.
පහරා නම් හඬා නම් පචිති ඇවැත් වෙයි. පහරා නො හඬා නම් දුකුළා ඇවැත් වෙයි. හඬා නම් නො පහරා නම් දුකුළා ඇවැත් වෙයි.
ඥාතිව්‍යසනයෙන් හෝ භෝගව්‍යසනයෙන් හෝ රොගව්‍යසනයෙන් හෝ පහස්නා ලද්දී හඬා නම් නො පහරා නම්, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දසවන සිකපද යි.
ද්විතීය අන්‍ධකාර වර්‍ග යි.
එහි උද්දානය:
රත්තන්‍ධකාර යැ පටිච්ඡන්න යැ අජ්ඣොකාස යැ සිඞ්ඝාටක යැ අනාපුච්ඡා දෙක යැ විකාල යැ දුග්ගහිත යැ නිරය යැ වධ යැ යි.
3. නග්නවර්‍ගය
4. 3. 1.
පළමු සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ අචිරවතී නදියෙහි වෙසඟනන් සමඟ නග්න වැ එක් තොටැ ස්නානය කෙරෙති. වෙසඟනෝ ඒ මෙහෙණන්හට කෙළිකවට කම් කළහ: “ආර්‍ය්‍යාවෙනි, ඉතා තරුණ වූ තොපට බඹසර පුරුදු කිරීමෙන් කිනම් ප්‍රයෝජනයක් ද? කාමයෝ පරිභෝග කළ යුත්තෝ නො වෙත් ද? යම් කලෙකැ මහලුවූවෝ වන්නාහු නම් එකල්හි බඹසර හැසිරෙවු. මෙසේ වනාහි තොප විසින් දෙ කරුණ මැ අයත් කොට ගන්නා ලද්දේ වන්නේ” යැ යි. වෙසඟනන් විසින් කෙළි කවට කම් කරනු ලබන මෙහෙණෝ මකුවූහු. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණු ඇරොජූහ. මෙහෙණෝ මහණුන්ට තෙල කරුණ ඇරොජූහ. මහණෝ භාග්‍යවතුන්ට තෙල කරුණු ඇරොජූහු. එකල්හි භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසර යෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක: එසේ නම් මහණෙනි, මෙහෙණන්ට දස කරුණක් පිණිස සිකපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනා පිළිගැන්ම පිණිස යැ ... විනයට රුකුල් පිණිස යැ මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් නග්න වැ ස්නාන කෙරේ නම් පචිති වේ” යයි.
2. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
නග්ගා නහායෙය්‍ය: නො හඳනා ලද්දී හෝ නො පොරවන ලද්දී හෝ ස්නාන කෙරේ නම් පියෝහි දුකුළා ඇවැත් වෙයි. සැනැහුම් පරියතැ පචිති ඇවැත් වේ.
අසිඳැගත් සිවුරු ඇතියාට නට සිවුරු ඇතියාට ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
4. 3. 2.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් මෙහෙණන්ට දියසළුව අනුදන්නා ලද්දේ වෙයි. සවග මෙහෙණෝ භාග්‍යවතුන් වහන්සේ විසින් දියසළුව අනුදන්නා ලදැ යි පමණ ඉක්ම වූ දියසළු දරත්, ඉදිරිපසිනුදු පසුපසිනුදු අදිමින් ඇවිදිත්.