4. 2. 7.
සත්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවස එක්තරා ගමකට පැමිණ එක්තරා බමුණු කුලයක් වෙතැ එළැඹැ ඉඩක් ඉල්ලූහ. එකල්හි ඒ බැමිණි ඒ මෙහෙණන්ට “ආර්ය්යාවෙනි බමුණා එන තෙක් ඉවසවයි කිවු යැ. මෙහෙණෝ බමුණා එන තෙක් ශයනය අතුරා ඇතැම්හු හුන්හ. ඇතැම්හු හොත්හ. එකල්හි ඒ බමුණු රෑ අවුත් එබැමිණිට මොහු කවුරුදැ යි කී යැ. ආර්ය්යය, මෙහෙණෝ යැ. මේ මුඩු වඳලියන් ඇදදමවයි ගෙයින් ඇදදැමවී යැ.
2. ඉක්බිති ඒ මෙහෙණෝ සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්යාව අතුරා හිඳීමත් කෙරෙත් ද? වැද හොවීමත් කෙරෙත් දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ ද? මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
“යම් මෙහෙණක් විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
විකාල නම්: හිරු අවරට ගිය කල්හි අරුණ නැඟීම තෙක්.
කුල නම්: ක්ෂත්රියකුල යැ බ්රාහ්මණකුල යැ වෛශ්යකුල යැ ශුද්රකුල යැ යි කුල සතරෙකි.
උපසඞ්කමිත්වා: එහි ගොස්.
සාමිකෙ අනාපුච්ඡා: ඒ කුලයෙහි දෙන්නට හිමි යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ.
සෙය්ය නම්: යටත් පිරිසෙයින් කොළ ඇතිරියකුත්.
සන්ථරිත්වා: තොමෝ අතුරා.
සන්ථරාපෙත්වා: මෙරමා ලවා අතුරුවා.
අභිනිසීදෙය්ය: එහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
අභිනිපජ්ජෙය්ය: එහි වැද හොවී නම් පචිති ඇවැත් වෙයි.
නො පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා ශය්යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා ශය්යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසිසන් ඇතියා ශය්යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසියන් ඇතියා නම් ඇවැත් නැති.
පිළිවිසැ ශය්යාව අතුරා හෝ අතුරුවා හෝ හිඳී නම් හෝ වැද හොවී නම් හෝ, ඇවැත් නැත. ගිලන්වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපදයි.