4. 2. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්ති නිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීම ද කෙරෙයි. වැදහොවීම ද කෙරෙයි. මිනිස්සු ථුල්ලනන්‍දා භික්‍ෂුණියගෙන් ලජ්ජිත වෙන්නාහු අසුනෙහි නොමැ හිඳිත්. නොමැ හොවිත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීම කළා ද? වැදහොවීම කළා දැ යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කළා ද? වැදහොවීමත් කළා දැ යි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කෙරේද? වැද හොවීමත් කෙරේ දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ පසුබතැ කුලයන් වෙතැ එළඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීමත් කළාද? වැද හොවීමත් කළා දැ යි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පසුබතැ කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ අසුනෙහි හිඳීනම් හෝ වැද හොවී නම් හෝ පචිති වේ”යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
පච්ඡාභත්ත නම්, මද්දහන ඉක්මගිය කල්හි හිරු අවරට යන තෙක්.
කුල නම්: ක්‍ෂත්‍රියකුල යැ බ්‍රාහ්මණකුල යැ වෛශ්‍යකුල යැ ශුද්‍රකුල යැ යි කුල සතරෙකි.
උපසඞ්කමිත්‍වා: එහි ගොස්.
සාමිකෙ අනාපුච්ඡා: ඒ කුලයෙහි දෙන්නට හිමි යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ.
ආසන නම්: පලඟෙක්හි අවකාශය කියනු ලැබෙයි.
අභිනිසීදෙය්‍ය: එහි හිඳී නම් පචිති ඇවැත් වෙයි.
[need trans?]
නො පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ පචිති ඇවැත් වේ.
පලඟෙක අවකාශයෙහි දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා නම් ඇවැත් නැති.
පිළිවිසි අසුනෙහි හිඳී නම් හෝ වැද හොවී නම් හෝ ඇවැත් නැති. නිති පැනවූයෙහි, ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සවන සිකපද යි.
4. 2. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි බොහෝ මෙහෙණෝ කොසොල් දනව්වෙහි සිට සැවැතට යන්නාහු සවස එක්තරා ගමකට පැමිණ එක්තරා බමුණු කුලයක් වෙතැ එළැඹැ ඉඩක් ඉල්ලූහ. එකල්හි ඒ බැමිණි ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි බමුණා එන තෙක් ඉවසවයි කිවු යැ. මෙහෙණෝ බමුණා එන තෙක් ශයනය අතුරා ඇතැම්හු හුන්හ. ඇතැම්හු හොත්හ. එකල්හි ඒ බමුණු රෑ අවුත් එබැමිණිට මොහු කවුරුදැ යි කී යැ. ආර්‍ය්‍යය, මෙහෙණෝ යැ. මේ මුඩු වඳලියන් ඇදදමවයි ගෙයින් ඇදදැමවී යැ.
2. ඉක්බිති ඒ මෙහෙණෝ සැවැතට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කෙරෙත් ද? වැද හොවීමත් කෙරෙත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණෝ විකාලයෙහි කුලයන් වෙතැ එළැඹැ හිමියන් නො පිළිවිසැ ශය්‍යාව අතුරා හිඳීමත් කළෝ ද? වැද හොවීමත් කළෝ ද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.