4. 2. 5.
පස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් තොමෝ එක්තරා කුලයක්හුගේ නිතිබත් වළඳන කුලූපිකාවක් වෙයි. එකල්හි ඒ මෙහෙණ තොමෝ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ඒ කුලය වෙතැ එළඹියා යැ. එළැඹැ අස්නෙහි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා යැ. ඒ කුලයෙහි දාසී තොමෝ හමදින්නී ඒ අසුන බඳුන් අතුරෙයි බහාලූ යැ. මිනිස්සු ඒ අසුන නො දක්නාහු එ මෙහෙණහට “ආර්ය්යාවෙනි, ඒ අසුන කොහිදැ” යි කීහු. ඇවැත්නි, මම ඒ අසුන නොදකිමියි. ‘ආර්ය්යාවෙනි, ඒ අසුන දෙව’යි තැතිගන්වා නිතිබත සිඳැලූහ. එකල්හි ඒ මිනිස්සු ගෙය ශුද්ධකරන්නාහු ඒ අසුන බඳුන් අතුරෙහි දැක එ මෙහෙණ කමාකරවා නිතිබත (යළි) තැබූහු.
2. ඉක්බිති ඒ මෙහෙණ තොමෝ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්, “කෙසේ නම් මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙත එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා දැ”යි ... සැබෑද මහණෙනි මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පෙරබත්හි කුලයන් වෙතැ එළැඹැ අසුනෙක්හි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර යා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
පුරේභත්ත නම්: අරුණ නැඟීම පටන් මද්දහන තෙක්.
කුල නම්: ක්ෂත්රිය කුල යැ බ්රාහ්මණ කුල යැ වෛශ්ය කුලයැ ශුද්ර කුල යැ යි කුල සතරෙකි.
උපසඞ්කමිත්වා: එහි ගොස්.
ආසන නම්: පලඟෙක්හි අවකාශය කියනු ලැබෙයි.
නිසීදිත්වා: එහි හිඳ.
සාමිකෙ අනාපුච්ඡා පක්කමෙය්ය: ඒ කුලයෙහි දැනුමැති යම් මිනිසෙක් වේ නම් ඔහු නො පිළිවිසැ නිසවත ඉක්මවන්නියට පචිති ඇවැත් වෙයි. එළිමහනෙහි උවසර ඉන්මවන්නියට පචිති ඇවැත්වේ.
නො පිළිවිසියෙහි නො පිළිවිසි සන් ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි විමති ඇතියා බැහැරැ යේ නම් පචිති ඇවැත් වෙයි. නො පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා බැහැර යේ නම් පචිති ඇවැත් වේ.
පලඟෙක අනවකාශයෙහි දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි නො පිළිවිසිසන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. පිළිවිසියෙහි පිළිවිසි සන් ඇතියා නම් ඇවැත් නැති.
පිළිවිසැ යා නම්, නො ගෙනැ යා හැකි අස්නෙහි නම්, ඇවැත් නැත. ගිලන් වූවාට, ආපදායෙහි, උම්මත්තිකාවට ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපදය යි.