4. 2. 4.
සතරවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ මාවේහි ද කොවේහි ද සිවුමංසලෙහි ද හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරෙයි. සල්ලාපත් කෙරෙයි. කන්මුලැ කෙඳිරීමත් කෙරෙයි. දෙවන මෙහෙණක නඟා යැවීමත් කෙරෙයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්ය ථුල්ලනන්දා මාවේහි දු කොවේහි දු සිවුමංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළා ද? සල්ලාපත් කළා ද? කන්මුලැ කෙඳිරීමත් කළා ද? දෙවන මෙහෙණක නඟා යැවීමත් කළා දැයි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී මාවේහි දු කොවේහි දු සිවුමංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කෙරේ ද, සල්ලාපත් කෙරේ ද, කන්මුලැ කෙඳිරීමත් කෙරේ ද, දෙවන මෙහෙණක නගා යැවීමත් කෙරේ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී මාවේහි දු කොවේහි දු සිව්මංසලෙහි දු හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටීමත් කළාද? සල්ලාපත් කළා ද? කන්මුලැ කෙඳිරීමත් කළා ද? දෙවන මෙහෙණක නඟා යැවීමත් කළා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
“යම් මෙහෙණක් මාවේහි හෝ කොවේහි හෝ සිවුමංසලෙහි හෝ හුදෙකලා වූවා හුදෙකලා වූ පිරිම්නියක්හු සමග වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ කන්මුලැ කොඳුරා නම් හෝ දෙවන මෙහෙණක නඟා යවා නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණි යි.
රථියා නම්: වීථිය කියනු ලැබෙයි.
බ්යුහ නම්: යම් මඟකින් මැ පිවිසෙත් ද ඒ මඟින් මැ නික්මෙත්.
සිඞ්ඝාටක නම්: සිවුමංසල කියනු ලැබෙයි.
පුරිස නම්: මිනිස් පිරිම්නියෙකි. යක්ෂයෙක් නො වෙයි. ප්රේතයෙක් නො වෙයි. තිරිසන්ගියෙක් නො වෙයි. වෙතැ සිටින්නට සල්ලාප කරන්නට දැනුමැති ප්රතිබලයෙකි.
සද්ධිං: එක්වැ:
එකෙනෙකා: පිරිම්නියෙක් ද වෙයි. මෙහෙණක් ද වෙයි.
සන්තිට්ඨෙය්ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටී නම් පචිති ඇවැත් වෙයි.
සල්ලපෙය්ය වා: පිරිම්නියක්හුගේ අත්පසැ සිටියා සල්ලාප කෙරේ නම් පචිති ඇවැත් වෙයි.
නිකණ්ණිකං වා ජප්පෙය්ය: පිරිම්නියක්හුගේ කන්මුලැ අරොජා නම් පචිති ඇවැත් වෙයි.
දුතියිකං වා භික්ඛුනිං උය්යෝජෙය්ය: අනාචාරයෙහි හැසිරෙනු කැමැත්තී දෙවන මෙහෙණකුදු නඟා යවා නම් දුකුළා ඇවැත් වෙයි. දසුන් උවසර හෝ සවන් උවසර හෝ හැරැපියන කල්හි දුකුළා ඇවැත් වෙයි. හැරැපූ කල්හි පචිති ඇවැත් වෙයි. අත්පස හැරැපියා වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වෙයි. යක්ෂයකු හෝ ප්රේතයකු හෝ පණ්ඩකයකු හෝ තිරිසන් ගිය මිනිස් සිරිරි ඇතියක්හු හෝ සමඟ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ දුකුළා ඇවැත් වේ.
යම් කිසි දැනුමැති දෙවැන්නෙක් වේ නම්, නො රඹුරෙහි රිසි ඇතියා අන්යවිහිත වැ වෙතැ සිටී නම් හෝ සල්ලාප කෙරේ නම් හෝ අනාචාරයෙහි නො හැසිරෙනු කැමැතියා ඇවැසි කටයුත්තක් ඇති කල්හි දෙවන මෙහෙණක නඟා යවා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
සතරවන සිකපදය යි.
4. 2. 5.
පස්වන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා මෙහෙණක් තොමෝ එක්තරා කුලයක්හුගේ නිතිබත් වළඳන කුලූපිකාවක් වෙයි. එකල්හි ඒ මෙහෙණ තොමෝ පෙරවරුයෙහි හැඳ පෙරවැ පාසිවුරු ගෙන ඒ කුලය වෙතැ එළඹියා යැ. එළැඹැ අස්නෙහි හිඳ හිමියන් නො පිළිවිසැ බැහැර ගියා යැ. ඒ කුලයෙහි දාසී තොමෝ හමදින්නී ඒ අසුන බඳුන් අතුරෙයි බහාලූ යැ. මිනිස්සු ඒ අසුන නො දක්නාහු එ මෙහෙණහට “ආර්ය්යාවෙනි, ඒ අසුන කොහිදැ” යි කීහු. ඇවැත්නි, මම ඒ අසුන නොදකිමියි. ‘ආර්ය්යාවෙනි, ඒ අසුන දෙව’යි තැතිගන්වා නිතිබත සිඳැලූහ. එකල්හි ඒ මිනිස්සු ගෙය ශුද්ධකරන්නාහු ඒ අසුන බඳුන් අතුරෙහි දැක එ මෙහෙණ කමාකරවා නිතිබත (යළි) තැබූහු.