4. 1. 8.
අටවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණෙක් බැළයට සේවා කරන රාජභටයෙක් වූයේ ඒ භටමාර්‍ගය මැ ඉල්වන්නෙමැ යි හිස දොවා සනහා මෙහෙණවරට සමීපමාර්‍ගයෙන් රජගෙදරට යෙයි. එක්තරා මෙහෙණක් කබලෙක්හි වස කිස කොට බිතුයෙන් ඔබ්බෙහි දමාපියන්නී ඒ බමුණාගේ හිස මත්තෙහි හෙලූ යැ. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි. නුගුණ පවසයි. දොස් පතුරුවයි. “මේ මුඬු වඳලියෝ වූ නො මෙහෙණෝ කෙසේ නම් වසුරු බඳුනක් හිසමත්තෙහි හෙලූහු ද? මොවුන්ගේ අසපුව දවන්නෙමැ යි ගිනිහුලක් ගෙනැ අසපුවට පිවිසෙයි. එක්තරා උවසුවෙක් මෙහෙණවරින් නික්මෙන්නේ ගිනිහුලක් ගෙනැ මෙහෙණවරට පිවිසෙන ඒ බමුණා දිටී. දැකැ එ බමුණුහට “පින්වත තෝ කුමකට ගිනිහුලක් ගෙනැ මෙහෙණවරට පිවිසෙහි”දැ යි කී යැ. පින්වත මේ මුඩු වඳගැහැණු වසුරු බඳුනක් මා මත්තෙහි හෙලූහ. මොවුන්ගේ මෙහෙණවර දවාලන්නෙමි යි. පින්වත් බමුණ යා තෙලෙ මඟුල් යැ. දහසක් ද ඒ භටමාර්‍ගය ද ලබනෙහි යැ යි. එකල්හි ඒ බමුණු තෙමේ හිස දොවා නහා රජගෙදරට ගොස් දහසක් ද ඒ භටමාර්‍ගය ද ලැබී.
2. ඉක්බිති ඒ උවසු මෙහෙණවරට පිවිස මෙහෙණන් හට තෙල කරුණ ඇරොජා (යළි මෙබන්දක් නො කරන්නැ යි) බියගැන්වී යැ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෙක් තොමෝ මල භිත්තියෙන් පිටත්හි දමාපූ දැ” යි ... සැබෑ ද මහණෙනි මෙහෙණක් මල භිත්තියෙන් පිටත්හි දමාපියද්දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් මල භිත්තියෙන් පිටත්හි දමාපූද? මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් මල හෝ මූ හෝ කසළ හෝ ඉඳුල් හෝ භිත්තියෙන් පිටතැ හෝ පවුරෙන් පිටතැ හෝ දමාපියා නම් හෝ දමාපියවා නම් හෝ පචිති වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
උච්චාර නම්: ගුථය කියනු ලැබෙයි.
පස්සාව නම්: මූත්‍ර කියනු ලැබෙයි.
සඞ්කාර නම්: කසළ කියනු ලැබෙයි.
විඝාස නම්: සප හෝ ඇට හෝ ඉඳුල්දිය හෝ යැ.
කුඩ්ඩ නම්: ගඩොළු බිතු යැ සෙල් බිතු යැ දැව බිතු යැයි බිතු තුනෙකි.
පාකාර නම්: ගඩොළු පවුරු යැ සෙල් පවුරු යැ දැව පවුරු යැයි පවුරු තුනෙකි.
තිරොකුඩ්ඩෙ: බිතුයෙන් ඔබ්බෙහි;
තිරො පාකාරෙ: පවුරෙන් ඔබ්බෙහි;
ඡඩ්ඩෙය්‍ය: තෙමේ දමාපියා නම් පචිති ඇවැත් වෙයි.
ඡඩ්ඩාපෙය්‍ය: මෙරමා අණවා නම් දුකුළා ඇවැත් වෙයි. වරක් අණවන ලද්දී බොහෝ වරකුදු දමාපියා නම් පචිති ඇවැත් වේ.
බලා දමාපියා නම්, යනෙන මඟක් නැති තන්හි දමාපියා නම්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති,
අටවන සිකපදය යි.
4. 1. 9.
නවවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි එක්තරා බමුණක්හුගේ යව කෙතෙක් මෙහෙණවරක් ඇසිරි කොට වෙයි. මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපියති. එකල්හි ඒ බමුණු ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුව යි. “කෙසේ නම් මෙහෙණෝ අපගේ යවකෙත දූෂණය කළාහු”දැ යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ බමුණාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැයි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහුද ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ මල ද මූ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු දැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ මල ද මූ ද කසළ ද ඉඳුල් ද නිල්වන් ගොයමෙහි දමාපූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා: