4. 1. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි මෙහෙණෝ අස්වනු කල්හි අමු ධාන්‍යය විනවා නුවරට ගෙන එති. (නුවරැ) දොරටුතන්හි ආර්‍ය්‍යාවෙනි, කොටසක් දෙවුයැ යි හිරිහැර කොට මුදාලූහ. එකල්හි ඒ මෙහෙණෝ මෙහෙණවරට ගොස් මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ අමු ධාන්‍යය විනවූහු” දැයි ... “සැබෑද මහණෙනි, මෙහෙණෝ අමු ධාන්‍යය වින වත්”දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අමු ධාන්‍යය විනවහුද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ අමු ධාන්‍යය විනවා හෝ විනවවා හෝ බැද හෝ බදවා හෝ කොටා හෝ කොටවා හෝ පිසැ හෝ පිසවා හෝ වළඳා නම් පචිති ඇවැත් වේ” යයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
ආමකධඤ්ඤ නම්: හැල් යැ වී යැ යව යැ තිරිඟු ය කඞ්ගු යැ වරා යැ අමු යැ.
විඤ්ඤාපෙත්‍වා: තමා විසින් විනවා.
විඤ්ඤපාපෙත්‍වා: මෙරමා ලවා විනවවා.
භජ්ජිත්‍වා: තෙමේ බැද.
භජ්ජාපෙත්‍වා: මෙරමා ලවා බදවා.
කොට්ටෙත්‍වා: තෙමේ කොටා.
කොට්ටාපෙත්‍වා: මෙරමා ලවා කොටවා.
පචිත්‍වා: තෙමේ පිසැ.
පචාපෙත්‍වා: මෙරමා ලවා පිසවා. බුදින්නෙමැ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
ආබාධ ප්‍රත්‍යයෙන්, (මුං උඳු ඈ) අපරණ්ණයක් විනවා නම්, ඇවැත් නො වේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සත්වන සිකපදය.