4. 1. 5.
පස්වන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුරැ නුගඅරම්හි වැඩැවෙසෙති. එකල්හි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වෙත එළැඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ “භාග්‍යවතුන් වහන්ස, මාගම දුගඳයැ”යි යටි සුළඟෙහි සිටියා යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භික්‍ෂුණීහු උදකශුද්ධිකය ගනිත්ව”යි. මහාප්‍රජාපතී ගෞතමියට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේක. මොනවට කරුණු ගැන්වූ සේක. මොනවට තෙද ගැන්වූ සේක. මොනවට සතුටු කරවූ සේක. එකල්හි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථාවෙන් මොනවට කරුණු දක්වන ලද්දී මොනවට කරුණු ගන්වන ලද්දී මොනවට තෙද ගන්වන ලද්දී මොනවට සතුටු කරවන ලද්දී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ගියා යැ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, මෙහෙණන්හට උදකශුද්ධිකය අනුදනිමි”යි. එසමයෙහි එක්තරා මෙහෙණෙක් භාග්‍යවතුන් විසින් උදකශුද්ධිකය අනුදැන වදාරන ලදැ යි ඉතා ගැඹුරට උදකශුද්ධිකය ගන්නී මූත්‍ර කරණයෙහි වණයක් කළා යැ. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
3. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු” දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“උදක ශුද්ධිකය ගනු බලන මෙහෙණ විසින් දෙ ඇඟිලි දෙපුරුකක් පරම කොට ගත යුතු යි. එය ඉක්මවන්නියට පචිති වේ” යැයි.
4. උදකශුද්ධික නම්: මූත්‍රකරණය පිළිබඳ දෙවීම කියනු ලැබේ.
ආදියමානාය: දෙවන්නිය විසින්:
ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං: දෙ ඇඟිල්ලෙහි දෙ පුරුකක් පරම කොට ගත යුතු යි.
තං අතික්කාමෙන්තියා: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් කෙසගක් පමණකුදු ඉක්මවා නම් පචිති ඇවැත් වේ.
අයිරා දෙඇඟිලි දෙපුරුකෙහි අයිරා සන් ඇතියා ගනී නම් පචිති ඇවැත් වෙයි. අයිරා දෙඇඟිලි දෙපුරුකෙහි විමති ඇතියා ගනී නම් පචිති ඇවැත් වෙයි. දෙඇඟිලි දෙපුරුකෙහි උනුසන් ඇතියා ගනී නම් පචිති ඇවැත් වේ.
උනු දෙඇඟිලි දෙපුරුකෙහි අයිරා සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දෙඇඟිලි දෙපුරුකෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. උනු දෙඇඟිලි දෙපුරුකෙහි උනු සන් ඇතියා නම් ඇවැත් නැති.
දෙඇඟිලි දෙපුරුකක් පරම කොට ගනී නම්, උනු දෙඇඟිලි දෙපුරුකක් පරම කොට ගනී නම්, ආබාධප්‍රත්‍යයයෙන්, අවැත් නොවේ. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පස්වන සිකපද යි.
4. 1. 6.
සවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි ආරෝහන්ත නම් මහාමාත්‍රයෙක් මහණුන් කෙරෙහි පැවිදි වූයේ වෙයි. ඔහුගේ පැරැණි අඹු මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එසමයෙහි වනාහි ඒ මහණ තෙමේ එ මෙහෙණ වැළතෙහි බත්කිස කෙරෙයි. එකල්හි ඒ මෙහෙණ වළඳන ඒ මහණහට පැනින් ද තල්වැටින් පවන් සැළීමෙන් ද (උවටැන් කරමින්) වෙතැ සිට (පැවිදි සිරිත) ඉක්මවා (පස්කම් සැපමුසු) වදන් බෙණෙයි. එකල්හි ඒ මහණ තෙමේ එ මෙහෙණහට “බුහුන, මෙබන්දක් නහමක් කරව, මෙය නො කැපයැ”යි අප්‍රසාදය පළ කළේ යැ. පෙරැ තෝ මට මෙසේත් මෙසේත් කෙරෙහි, දැන් මෙවිචරකුත් නො ඉවසහි යැ යි පැන්තලිය හිසමතැ වත් කොට තල්වැටින් පහර දුන්නා යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් මහණක්හට පහර දුන්නාදැ”යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් මහණක්හට පහර දුන්නා දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි මෙහෙණක් මහණක්හට පහරදුන්නාද මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි. ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් වළඳන මහණක්හට පැනින් හෝ තල්වැටින් හෝ යුතු වැ වෙතැ එළැඹැ සිටී නම් පචිති වේ”යයි.