4. 1. 4.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පෙරැ ගිහි බැව්හි රජහුගේ ඇතොවුරෙහි වූ එක්තරා ස්ත්‍රියක් මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එක්තරා මෙහෙණක් අනභිරතියෙන් පෙළුණී ඒ මෙහෙණ වෙත එළැඹියා යැ. එළැඹැ ඒ මෙහෙණහට “ආර්‍ය්‍යාවෙනි, රජ තෙමේ වනාහි කලින් කල තොප වෙතට පැමිණෙයි. තෙපි කෙසේ ඉවසා දරව් දැ යි” තෙල කරුණ කිවු යැ. ආර්‍ය්‍යාවෙනි, ජතුමට්ටකයෙනි. ආර්‍ය්‍යාවෙනි, තෙල ජතුමට්ටකය කිමෙක් දැ යි. එකල්හි ඒ මෙහෙණ ඒ මෙහෙණහට ජතුමට්ටකය පැහැදිලි කොට කිවු යැ. එකල්හි ඒ මෙහෙණ ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගෙන දොවන්නට නො සිහි කොට එකත්පසෙක දැමූ යැ. මෙහෙණෝ මැස්සන්ගෙන් හාත්පසින් ගැවසි ගන්නා ලද්ද දැක “මේ කාගේ කාර්‍ය්‍යයක්දැ”යි කීහු. ඕ තොමෝ මෙය මාගේ කාර්‍ය්‍යයෙකැ යි කිවු යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ”යි ... “සැබෑද මහණෙනි, මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි මෙහෙණක් ජතුමට්ටකය ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා”
“ජතුමට්ටකයෙහි පචිති වේ” යැ යි.
3. ජතුමට්ටක නම්: ලහමුවා යැ, දැවමුවා යි පිටි මුවා යැ මැටිමුවා යැ.
ආදියෙය්‍ය: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් උපුල් පතකුදු මූත්‍ර කරණයට පිවිස්වා නම් පචිති ඇවැත් වේ.
ආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.
4. 1. 5.
පස්වන සිකපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු ශාක්‍යජනපදයෙහි කිඹුල්වත් පුරැ නුගඅරම්හි වැඩැවෙසෙති. එකල්හි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් වෙත එළැඹියා යැ. එළැඹැ භාග්‍යවතුන් සකසා වැඳ “භාග්‍යවතුන් වහන්ස, මාගම දුගඳයැ”යි යටි සුළඟෙහි සිටියා යැ. එකල්හි භාග්‍යවතුන් වහන්සේ “භික්‍ෂුණීහු උදකශුද්ධිකය ගනිත්ව”යි. මහාප්‍රජාපතී ගෞතමියට දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේක. මොනවට කරුණු ගැන්වූ සේක. මොනවට තෙද ගැන්වූ සේක. මොනවට සතුටු කරවූ සේක. එකල්හි මහාප්‍රජාපතී ගෞතමී තොමෝ භාග්‍යවතුන් විසින් දැහැමි කථාවෙන් මොනවට කරුණු දක්වන ලද්දී මොනවට කරුණු ගන්වන ලද්දී මොනවට තෙද ගන්වන ලද්දී මොනවට සතුටු කරවන ලද්දී භාග්‍යවතුන් සකසා වැඳ පැදකුණු කොට ගියා යැ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මෙ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා දැහැමි කථා කොට මහණුන් ඇමතූ සේක. “මහණෙනි, මෙහෙණන්හට උදකශුද්ධිකය අනුදනිමි”යි. එසමයෙහි එක්තරා මෙහෙණෙක් භාග්‍යවතුන් විසින් උදකශුද්ධිකය අනුදැන වදාරන ලදැ යි ඉතා ගැඹුරට උදකශුද්ධිකය ගන්නී මූත්‍ර කරණයෙහි වණයක් කළා යැ. එකල්හි ඒ මෙහෙණ මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූ යැ.
3. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු” දැ යි ... සැබෑද මහණෙනි, මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණක් ඉතා ගැඹුරට උදක ශුද්ධිකය ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“උදක ශුද්ධිකය ගනු බලන මෙහෙණ විසින් දෙ ඇඟිලි දෙපුරුකක් පරම කොට ගත යුතු යි. එය ඉක්මවන්නියට පචිති වේ” යැයි.
4. උදකශුද්ධික නම්: මූත්‍රකරණය පිළිබඳ දෙවීම කියනු ලැබේ.
ආදියමානාය: දෙවන්නිය විසින්:
ද්වඞ්ගුලපබ්බපරමං ආදාතබ්බං: දෙ ඇඟිල්ලෙහි දෙ පුරුකක් පරම කොට ගත යුතු යි.