4. 1. 3.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි දෙ මෙහෙණ කෙනෙක් අනභිරතියෙන් පීඩිත වූවාහු ගබට පිවිස තලඝාතකය කෙරෙති. භික්‍ෂුණීහු ඒ ශබ්දයෙන් දිවැ අවුත් ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි කුමකට පුරුෂයන් සමග දූෂ්‍යවහුදැ”යි කීහු. ආර්‍ය්‍යාවෙනි, අපි පුරුෂයන් සමග නො ම දූෂ්‍යවම්හ යි. මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ තලඝාතකය කොළෝදැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කෙරෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“තලඝාතකයෙහි පචිති වේ” යයි.
3. තලඝාතක නම්: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් උපුල් පතිනුදු මූත්‍ර කරණයෙහි පහර දේ නම් පචිති ඇවැත් වෙයි.
ආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
තෙවන සිකපද යි.
4. 1. 4.
සතරවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි පෙරැ ගිහි බැව්හි රජහුගේ ඇතොවුරෙහි වූ එක්තරා ස්ත්‍රියක් මෙහෙණන් කෙරෙහි පැවිදි වූවා වෙයි. එක්තරා මෙහෙණක් අනභිරතියෙන් පෙළුණී ඒ මෙහෙණ වෙත එළැඹියා යැ. එළැඹැ ඒ මෙහෙණහට “ආර්‍ය්‍යාවෙනි, රජ තෙමේ වනාහි කලින් කල තොප වෙතට පැමිණෙයි. තෙපි කෙසේ ඉවසා දරව් දැ යි” තෙල කරුණ කිවු යැ. ආර්‍ය්‍යාවෙනි, ජතුමට්ටකයෙනි. ආර්‍ය්‍යාවෙනි, තෙල ජතුමට්ටකය කිමෙක් දැ යි. එකල්හි ඒ මෙහෙණ ඒ මෙහෙණහට ජතුමට්ටකය පැහැදිලි කොට කිවු යැ. එකල්හි ඒ මෙහෙණ ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගෙන දොවන්නට නො සිහි කොට එකත්පසෙක දැමූ යැ. මෙහෙණෝ මැස්සන්ගෙන් හාත්පසින් ගැවසි ගන්නා ලද්ද දැක “මේ කාගේ කාර්‍ය්‍යයක්දැ”යි කීහු. ඕ තොමෝ මෙය මාගේ කාර්‍ය්‍යයෙකැ යි කිවු යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ”යි ... “සැබෑද මහණෙනි, මෙහෙණක් ජතුමට්ටකය (ප්‍රයෝජනයට) ගතුදැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි මෙහෙණක් ජතුමට්ටකය ගතු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා”
“ජතුමට්ටකයෙහි පචිති වේ” යැ යි.
3. ජතුමට්ටක නම්: ලහමුවා යැ, දැවමුවා යි පිටි මුවා යැ මැටිමුවා යැ.
ආදියෙය්‍ය: පහස ඉවසන්නී යටත් පිරිසෙයින් උපුල් පතකුදු මූත්‍ර කරණයට පිවිස්වා නම් පචිති ඇවැත් වේ.
ආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
සතරවන සිකපද යි.