4. 1. 2.
දෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හරවා අචිරවතී නදියෙහි වෙසඟනන් සමග නග්න වැ එක් තොටෙහි ස්නානය කෙරෙත්. වෙසඟනෝ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගීන් මෙන් පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු”දැ යි.
2. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ වෙසඟනන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: කෙසේ නම් සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු දැ”යි ... සැබෑ ද මහණෙනි, සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හරවත් දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් පිළිසන් පියෙසෙහි ලොම් හරවා නම් පචිති වේ” යයි.
3. යා පන: යම්, යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණී යි.
සම්බාධ නම්: දෙ කිසිල්ල යැ මූත්‍රකරණ යි.
සංහරාපෙය්‍ය: එක්ලොමකුදු හරවා නම් පචිති ඇවැත් වෙයි. බොහෝ වූ ද ලොම් හරවා නම් පචිති ඇවැත් වේ.
ආබාධප්‍රත්‍යයෙන්, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
දෙවන සිකපද යි.
4. 1. 3.
තෙවන සිකපදය
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි දෙ මෙහෙණ කෙනෙක් අනභිරතියෙන් පීඩිත වූවාහු ගබට පිවිස තලඝාතකය කෙරෙති. භික්‍ෂුණීහු ඒ ශබ්දයෙන් දිවැ අවුත් ඒ මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි කුමකට පුරුෂයන් සමග දූෂ්‍යවහුදැ”යි කීහු. ආර්‍ය්‍යාවෙනි, අපි පුරුෂයන් සමග නො ම දූෂ්‍යවම්හ යි. මෙහෙණන්ට තෙල කරුණ ඇරොජූහු.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ තලඝාතකය කොළෝදැ”යි ... සැබෑ ද මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කෙරෙද්දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ තලඝාතකය කළෝ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“තලඝාතකයෙහි පචිති වේ” යයි.