4. 1. 1.
පළමු සිකපදය
ආර්ය්යාවෙනි, මේ එක්සිය සසැටක් පචිති ධර්මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි එක්තරා උවසුවකු විසින් භික්ෂුණී සඞ්ඝ තෙමේ ලුහුනෙන් පවරන ලද්දේ වෙයි. යම් ආර්ය්යා කෙනෙකුන්ට ලුහුනෙන් ප්රයෝජන වේ නම් මම ලුහුනෙන් (පවරමි) යි. ඉදින් මෙහෙණෝ පැමිණෙත් නම් එක් එක් මෙහෙණකට දෙතුන් ලුහුනු පොකුරක් දෙවයි කෙත්පල් තෙමේත් අණවන ලද්දේ වෙයි. එසමයෙහි වනාහි සැවැතෙහි උත්සවයෙක් වෙයි. ගෙනවුත් තුබූ ලුහුනු නිමාවට ගියේ යැ. මෙහෙණෝ ඒ උවසු වෙත එළැඹැ ඇවැත, ලුහුනෙන් ප්රයෝජන වේ යයි, තෙල කරුණ කීහු. නැත ආර්ය්යාවෙනි, ගෙනවුත් තුබූ ලුහුනු අවසන් විය. කෙතට යනු මැනැවැ යි. ථුල්ලනන්දා භික්ෂුණී කෙතට ගොස් පමණ නොදැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු යැ. කෙත්පල් තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ පමණ නොදැන බොහෝ ලුහුනු ගෙන්වා ගත්තු දැ”යි.
2. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන. ඒ කෙත්පල්හුගේ (අකීර්ති ශබ්දය) ඇසූහු යි. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු දැ යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී පමණ නො දැන බොහෝ ලුහුනු ගෙන්වා ගතු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... දැහැමි කථා කොට මහණුන් ඇමතූහ.
3. මහණෙනි, පෙරැවූවක් කියමි. ථුල්ලනන්දා භික්ෂුණී එක්තරා බමුණක්හුගේ අඹු වූ යැ. නන්දා යැ නන්දවතී යැ සුන්දරීනන්දා යැයි දියණියෝ තිදෙනෙක් ද වූහ. එකල්හි මහණෙනි, ඒ බමුණු තෙමේ කලුරිය කොට එක්තරා හංසයෝනියෙකැ උපන්නේ යැ. ඔහුගේ පියාපත් සියල්ල රන්මුවා විය. හෙතෙමේ ඔවුනට එක් එක් පියාපතක් දෙයි.
එකල්හි මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ මේ හංස තෙමේ අපට එක් එක් පියාපතක් දේ යයි ඒ හංසරාජයා අල්වාගෙන පියාපත් නැතියක්හු කළා යැ. ඔහුගේ යළි හටගන්නා පියාපත්හු සුදු වැ හටගත්හ. එදා ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ අතිලෝභයෙන් රනින් පිරිහිණ. දැන් ලුහුනෙන් පිරිහේ යයි.
“යමක් ලද නම් එයින් තුටුවිය යුතු යි. අතිලෝභය වනාහි ලාමක යැ. හස්රජහු අල්වාගෙන රනින් පිරිහිණැ” යි.
එකල්හි භාග්යවතුන් වහන්සේ ථුල්ලනන්දා භික්ෂුණියට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව්හි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් ලුහුනු කා නම් පචිති වේ” යයි.
4. යා පන: යම්, යම්බඳු ... භික්ඛුණී ... මෝතොමෝ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂුණී යි.
ලසුන නම්: මගදරට උපනැ යි කියනු ලැබෙයි. කන්නෙමැයි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි, පරඟලායෙහි පරඟලායෙහි පචිති ඇවැත් වේ.
ලුහුනෙහි ලුහුනු සන් ඇතියා කා නම් පචිති ඇවැත් වෙයි. ලුහුනෙහි විමති ඇතියා කා නම් පචිති ඇවැත් වෙයි, ලුහුනෙහි නො ලුහුනු සන් ඇතියා කා නම් පචිති ඇවැත් වේ.
නො ලුහුනෙහි ලුහුනු සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි, නො ලුහුනෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො ලුහුනෙහි නො ලුහුනු සන් ඇතියා නම් ඇවැත් නැති.
හෙළ ලුහුනෙහි, සෑ ලුහුනෙහි, පලාවන් ලුහුනෙහි, මිදුළු නැති ලුහුනෙහි, සූපසම්පාකයෙහි, මංසසම්පාකයෙහි, තෙල සම්පාකයෙහි, ගිවුළු සාලවයෙහි, අවුළුපත්හි, ඇවැත් නැත. උම්මත්තිකාවට ... ආදිකම්මිකාවට ඇවැත් නැති.
පළමු සිකපද යි.
4. 1. 2.
දෙවන සිකපදය
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මෙහෙණෝ පිළිසන් පියෙසෙහි ලොම් හරවා අචිරවතී නදියෙහි වෙසඟනන් සමග නග්න වැ එක් තොටෙහි ස්නානය කෙරෙත්. වෙසඟනෝ ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණෝ ගෘහී කාමභෝගීන් මෙන් පිළිසන් පියෙසෙහි ලොම් හැරැවූහු”දැ යි.