3. 7.
සත්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එ සමයෙහි වනාහි උවසුවෝ මෙහෙණ සඟනගේ සිවුරු පිණිස මෙරමා සැඳ හා රිසි දනවා ගත් පිරිකරක් එක්තරා පිළීවෙළෙඳක්හුගේ ගෙහි තබා මෙහෙණන් වෙත එළැඹැ මෙය කීහ. “ආර්‍ය්‍යාවෙනි, අසුවල් පිළීවෙළෙඳහුගේ ගෙහි සිවුරු පිණිස පිරිකරෙක් තබන ලදී, එයින් සිවුරු ගෙන්වාගෙන බෙදාගනු මැනැවැ” යි. මෙහෙණෝ ඒ පිරිකරිනුදු තුමූ මැ ඉල්වා ගෙන බෙහෙත් මිලයට ගන්වා වැළඳූහ. උවසුවෝ දැන ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟ සතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූ හු දැ” යි ... සැබෑද මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වත් දැ” යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, මෙහෙණෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගැන්වූහු දැ යි. මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වාගත් සඟසතු පිරිකරින් අනෙකක් මිල දී ගන්වා නම් නිසඟිපචිති වේ යයි.
2. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
අඤ්ඤදත්‍ථිකෙන පරික්ඛාරෙන අඤ්ඤද්දිසිකෙන: අනෙකක් සඳහා දුන්;
සඞ්ඝිකෙන: සඟනට යැ, ගණයාහට නො වෙයි. එක් මෙහෙණකට නො වේ,
සඤ්ඤාවිකෙන: තමා විසින් ඉල්වාගත්:
අඤ්ඤං චේතාපෙය්‍ය: යමක් සඳහා දෙන ලද ද, එය තබා අනෙකක් මිලදී ගන්වා නම් පියෝහි දුකුළා වෙයි, ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාහට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි, නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, අනෙකක් සඳහා දුන් අනෙකක් උදෙසා දුන් තමා විසින් ඉල්වා ගත් සඟසතු පිරිකරින් මා විසින් අනෙකක් මිල දී ගන්වන ලදී. මෙය නිසැඟිවිය. මම මෙය සඟනට නිසජමියි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
අනෙකෙක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි, අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා අනෙකක් මිලදී ගන්වානම් නිසඟි පචිති වෙයි. අනෙකක් සඳහා දෙනලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා අනෙකක් මිලදී ගන්වා නම් නිසඟි පචිති වෙයි. නිසැජුදැය පිළිලැබ දෙන ලද පරිදි එළවිය යුතුයි.
නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙන ලද්දෙහි විමති ඇතියා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකක් සඳහා දෙනලද්දෙහි නො අනෙකක් සඳහා දෙන ලද සන් ඇතියා නම් ඇවැත් නැති.
ඉතිරිවූවක් එළවානම්, හිමියන් පිළිවිසැ එළවා නම්, ඇවැත් නැත. ආපදායෙහි, උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
සත්වන සිකපදයි.