3. 5.
පස්වන සිකපදය
1. ශ්‍රාවස්තිනිදානයි – එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ගිලන් වූවා වෙයි. එකල්හි එක්තරා උවසුවෙක් ථුල්ලනන්‍දා භික්‍ෂුණිය වෙත එළැඹියේ යැ. එළැඹැ ථුල්ලනන්‍දා භික්‍ෂුණියට “කිම ආර්‍ය්‍යාවෙනි, ඉවසිය හැකි ද? කිම යැපියහැකිදැ” යි මෙය කීයැ. “ඇවැත, මට ඉවසිය නො හැකියැ, යැපිය නො හැකියැ” යි. ආර්‍ය්‍යාවෙනි, අසුවල් වෙළෙඳාගේ ගෙහි කහවණුවක් තබන්නෙමි, එයින් යමක් කැමැත්තෙහිනම් එය ගෙන්වාගන්නේ යැයි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ, “යා සික්මනුව, අසුවල් වෙළෙඳාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනෙව” යි එක්තරා සික්මනුවකට ඇණවූයැ. එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙන්දාගේ ගෙයින් කහවණුවකට තලතෙල් ගෙනවුත් ථුල්ලනන්‍දා භික්‍ෂුණියට දුන්නායැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සික්මනුව, “මට තලතෙලෙන් ප්‍රයෝජන නොවෙයි, මට ගිතෙලෙන් ප්‍රයෝජන වේයයි” (කිවුයැ.) එකල්හි ඒ සික්මනු තොමෝ ඒ වෙළෙඳා වෙත එළැඹියා යැ. එළැඹැ ඒ වෙළෙඳහට මෙය කිවු යැ. “ඇවැත, ආර්‍ය්‍යාවහට තල තෙලෙන් ප්‍රයෝජන නොවේල, ගිතෙලෙන් ප්‍රයෝජන වේල, ඔබගේ තලතෙල් ගන්නැ, මට ගිතෙල් දෙන්නැ” යි. “ආර්‍ය්‍යාවෙනි, ඉදින් අපි විකුණන ලද බඩු යළි ගන්නෙමු නම් කෙදිනෙකැ අපගේ බඩු විකිණෙන්නේද? තල තෙල් මිලයෙන් තලතෙල් ගෙන යන ලදී. ගිතෙල් මිල ගෙනෙව. (එකල්හි) ගිතෙල් ගෙන යන්නේයැයි.
2. එකල්හි ඒ සික්මනු තොමෝ හඬමින් සිටියා යැ, මෙහෙණෝ ඒ සික්මනුවහට මෙය කීහු. “සික්මනුව, කුමකට තෝ හඬහිදැ” යි. එකල්හි ඒ සික්මනු තොමෝ මෙහෙණන්හට තෙල කරුණ දැන්වූය. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්, “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැ” යි. ... සැබෑද මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණීතොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අනෙකක් දන්වාලා අනෙකක් දැන්වූදැයි. මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ අනෙකක් දන්වාලා (ඉන්) අනෙකක් දන්වා නම් හෝ නිසඟි පචිති වේ යැයි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
අඤ්ඤං චෙතාපෙත්‍වා: යම් කිසිවක් දන්වාලා;
අඤ්ඤං චේතාපෙය්‍ය: එය තබා අනෙකක් දන්වා නම් පියෝහි දුකුළා වෙයි. ප්‍රතිලාභයෙන් නිසැඟි වෙයි. සඟනට හෝ ගණයාට හෝ එක් මෙහෙණකට හෝ නිසැජිය යුතුයි. මෙසේ ද වනාහි මහණෙනි නිසැජිය යුතුයි ... ආර්‍ය්‍යාවෙනි, මා විසින් අනෙකක් දන්වාලා (ඉන්) අනෙකක් දන්වන ලදී, මෙය නිසැඟි විය. මම මෙය සඟනට නිසජමි යි ... දෙන්නේ යැ ... දෙන්නාහු යැ ... ආර්‍ය්‍යාවහට දෙමියි.
අනෙකෙක්හි අන්සන් ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි විමති ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි. අනෙකෙක්හි නො අන්සන් ඇතියා අනෙකක් දන්වා නම් නිසඟි පචිති වෙයි.
නො අනෙකෙක්හි අන්සන් ඇතියා නො අනෙකක් දන්වා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි විමති ඇතියා නො අනෙකක් දන්වා නම් දුකුළා ඇවැත් වෙයි. නො අනෙකෙක්හි හි නො අන්සන් ඇතියා නම් ඇවැත් නැති.
එය මැ දන්වා නම්, අනෙකකුත් දන්වා නම්, අනුසස් දක්වා දන්වා නම් ඇවැත් නැත. උම්මත්තිකාවහට ... ආදිකම්මිකාවහට ඇවැත් නැති.
පස්වන සිකපදය නිමි.