2. 9.
නවම සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණියගේ ඇතැවැසි භික්ෂුණීහු (ගෘහකාර්ය්යාදීන්හි) මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණසඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් භික්ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වුසූහුදැ” යි ... සැබෑ ද මහණෙනි, භික්ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙද්ද? සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, භික්ෂුණීහු මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතු ගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වුසූහු ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
“භික්ෂුණීහු (මිථ්යාජීව ඇතැයි) අකීර්ති ශබ්ද මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු (නොනිසි, කායවචී කර්මයන්) ඇතියාහු මෙහෙණසඟනට වෙහෙසන්නාහු අනන් මනන් වරද වසාලන්නාහු වෙසෙත් නම් ඒ භික්ෂුණීන්ට (අන්) මෙහෙණන් විසින් මෙසේ කියයුතු යැ. “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු වෙසෙති. ආර්ය්යාවෙනි, (මුසුවීමෙන්) වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්ඝ තෙමේ වර්ණනා කෙරේ යැ යි. මෙසේත් ඒ භික්ෂුණීහු (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නාහු එසේ මැ දැඩි වැ ගත්තාහු නම් ඒ භික්ෂුණීන්ට මෙහෙණන් විසින් එය දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්ම කළයුතු යැ. ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණකර්ම කරනු ලබන්නාහු එය දුරැලන්නාහු නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලන්නාහු නම් මේ මෙහෙණන් තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියාහු වෙති” යි.
3. භිකඛුනියො පනෙච: උපසපන්හු යැ යි කියනු ලැබෙති,
සංසට්ඨා විහරන්ති: සංසට්ඨා නම්: පැවිදියනට අනුලොම් නො වන කාවිසිබුහුටිකමින් මුසු වූවාහු වෙසෙත්.
පාපාචාරා: ලාමක ආචාරයෙන් සමන්වාගත වූවාහු.
පාපසද්දා: ලාමක කිර්තිශබ්දයෙන් උස්වැ පැනනැංගාහු.
පාපසිලෝකා: ලාමක මිථ්යාජීවයෙන් දිවි වටති.
භිකඛුනීසඞ්ඝසස්ස විහෙසිකා: අනන්මනන් කර්ම කරන කල්හි ප්රතික්ෂේප කෙරෙති,
අඤ්ඤමඤ්ඤිස්සා වජ්ජපටිච්ඡාදිකා: අනන් මනන් වරද වසාලත්,
4. තා භිකඛුනියො: මුසුවූ යම් ඒ මෙහෙණ කෙනෙක්.
භික්ඛුනීහි: අන් මෙහෙණන් විසින් යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් කියයුත්තාහු යැ, “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන් මනන් වරද වසාලන්නාහු වෙසෙති, ආර්ය්යාවෙනි, (මුසු වීමෙන්) වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්ඝ තෙමේ වර්ණනා කෙරේ යැ” යි, දෙවන වට දු කියයුත්තාහු යැ ... තෙවනවට දු කියයුත්තාහු යැ ... ඉදින් දුරැලත් නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලත් නම් දුකුළා ඇවැත් වෙයි, අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ භික්ෂුණීහු සඟමැදට දු ඇද කියයුත්තාහු යැ. “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති, ආර්ය්යාවෙනි, (මුසු වීමෙන්) වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්ඝ තෙමේ වර්ණනා කෙරේ යැ” යි, දෙවනවට දු කියයුත්තාහු යැ ... තෙවනවට දු කියයුත්තාහු යැ, ... ඉදින් දුරැලත් නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලත් නම් දුකුළා ඇවැත් වෙයි. ඒ භික්ෂුණීහු සමනුභාෂණකර්ම කළයුත්තාහු යැ, මෙසේ ද මහණෙනි, සමනුභාෂණකර්ම කළයුත්තාහු යැ, ව්යක්ත වූ ප්රතිබල වූ මෙහෙණක විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
5. ආර්ය්යාවෙනි, සඞ්ඝ තෙමේ මවදන් අසාවා. මෙ නම් ඇති ද මෙ නම් ඇති ද භික්ෂුණීහු මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණි සඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙසෙති. ඔව්හු ඒ වස්තුව නො දුරැලති. ඉදින් සඟනට පැමිණිකල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙ නම් ඇති ද මෙ නම් ඇති ද මෙහෙණන්ට සමනුභාෂණකර්ම කරන්නේ යැ, මේ ඥප්ති යැ.