2. 10.
දශම සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්හට මෙසේ කියයි. “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති මෙබඳු දිවෙල් ඇති මෙහෙණසඟනට වෙහෙසන්නා වූ අනන්මනන් වරද වසාලන්නාවූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි. සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙලා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසු වූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණසඟනට වෙහෙසන්නාහු අනන්මනන් වරද වසාලන්නාහු වෙති. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි මෙසේ කිවුදැ”යි. එකල්හි ඒ භික්‍ෂුණීහු මහණුන්ට තෙල කරුණ ඇරොජූහු. භික්‍ෂූහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු, මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු, බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි මෙසේ කිවු” ද? එකල්හි ඒ භික්‍ෂූහු භාග්‍යවතුන්ට තෙල කරුණ ඇරොජූහු.
3. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මෙ අවසරයෙහි ලා භික්‍ෂුසඞ්‍ඝයා රැස්කරවා භික්‍ෂූන් පිළිවුසූ සේක. සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසු වූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු: බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි මෙසේ කියා ද?
සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ සඞ්‍ඝයා විසින් සමනුභාෂණකර්‍ම කරන ලද මෙහෙණන්ට “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු පැවැතුම් ඇති මෙබඳු කිතුගොස් ඇති ... අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ” යැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
යම් මෙහෙණක් තොමෝ මෙසේ කියා නම් “ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු මැ වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු, මෙබඳු ලමු පැවැතුම් ඇති මෙවැනි ලමු කිතුගොස ඇති මෙබඳු ලමු දිවෙල් ඇති මෙහෙණි සඟනට වෙහෙස කරන්නා වූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති, සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කිය යි. සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් (සිය බලය පාමින්) ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. “බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත්මැ යි. ආර්‍ය්‍යාවෙනි, වෙන්වවු. බුහුනන්ගේ විවේකය මැ සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේයැ යි.
ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කිවයුතු වන්නීයැ, “ආර්‍ය්‍යාවෙනි, මෙසේ නහමක් කියව, ආර්‍ය්‍යාවෙනි, තෙපි මුසුවූවාහු ම වාසය කරවු. තෙපි වෙන් වැ නහමක් වාසය කරවු. මෙබඳු ලමු පැවැතුම් ඇති මෙබඳු ලමු කිතුගොස් ඇති මෙබඳු ලමු දිවෙල් ඇති මෙහෙණසඟනට වෙහෙස කරන්නාවූ අනන්මන වරද වසාලන්නා වූ අන්‍ය භික්‍ෂුණීහු ද සඞ්‍ඝයා කෙරෙහි වෙති. සඞ්‍ඝ තෙමේ ඔවුනට කිසිවක් නො කියයි. සඞ්‍ඝ තෙමේ තොපට මැ හෙළා දැකීමෙන් ද අවමන් කිරීමෙන් ද නො ඉවසීමෙන් ද කටමැත දෙඩීමෙන් ද (තොපගේ මැ) දුබල බැවින් ද මෙසේ කියයි. බුහුනෝ මැ මුසුවූවාහු ලමු පැවැතුම් ඇතියාහු ලමු කිතුගොස් ඇතියාහු ලමු දිවෙල් ඇතියාහු මෙහෙණ සඟනට වෙහෙස කරන්නාහු අනන්මන වරද වසාලන්නාහු වෙසෙත් මැ යි. ආර්‍ය්‍යාවෙනි, වෙන් වවු. බුහුනන්ගේ මැ විවේකය සඞ්‍ඝ තෙමේ වර්‍ණනා කෙරේ යැ යි. මෙසේත් (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නා වූ ඒ මෙහෙණ එසේ මැ දැඩි වැ ගන්නී නම් (අන්) මෙහෙණන් විසින් ඒ මෙහෙණ තුන් යළ තෙක් ඒ වස්තුව දුරැලීම පිණිස සමනුභාෂණකර්‍ම කළයුත්තී යැ. ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණකර්‍ම කරනු ලබන්නී එය දුරැ ලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් මෙහෙණ තොමෝ තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟ වෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.