2. 8.
අෂ්ටම සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා මෙසේ කියයි, “භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ. භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ භික්‍ෂුණීහු භයයෙනුදු අගතියට ගියාහු යැ” යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළී තොමෝ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයයෙනුදු අගතියට ගියාහු යැ මෙසේ කිවු ද? ... සැබෑ ද මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන්වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියා ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියා නම් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කියයුතු වන්නී යැ, ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ. ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නී යැ, මෝහයෙනුදු අගතියට යන්නී යැ, භයෙනුදු අගතියට යන්නී යැ යි. මෙසේත් ඒ මෙහෙණ මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩි වැ ගත්තී නම් එ මෙහෙණ මෙහෙණන් විසින් ඒ වස්තුව දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කළ යුත්තී යැ, ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කරනු ලබන්නී ඒ වස්තුව දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් මේ මෙහෙණ ද තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ, ය යි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණිය යි.
කිස්මිඤ්චිදේව අධිකරණෙ: අධිකරණ නම් විවාදාධිකරණ යැ අනුවාදාධිකරණ යැ ආපත්තාධිකරණ යැ කිච්චාධිකරණයැ යි සතර අධිකරණයෙකි.
පච්චාකතා නම්: පැරැදගියා කියනු ලැබේ.
කුපිතා අනත්තමනා: නො ඇලුණී හැපුණු සිත් ඇත්තී හටගත් (පිළිසූ) හුල්ඇත්තී,
එවං වදෙය්‍ය: භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු ද්වේෂයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු මෝහයෙනුදු අගතියට ගියාහු යැ, භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි.
සා භික්ඛුනී: යමක් මෙසේ කියනු සුළු නම් ඒ මෙහෙණ යැ.
භික්‍ඛුනීහි: අන් මෙහෙණන් විසින්; යම් කෙනෙක් දකිත් නම් යම් කෙනෙක් අසත් නම් ඔවුන් විසින් “ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ද්වේෂයෙනුදු අගතියට යන්නී යැ, මෝහයෙනුදු අගතියට යන්නී යැ, භයෙනුදු අගතියට යන්නී යැ” යි කිය යුත්තී යැ. දෙවනවට දු කියයුත්තී යැ ... තෙවනවට දු කියයුත්තී ය ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි, අසා නො කියත් නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සඟමැදට දු ඇද කියයුත්තී යැ, “ආර්‍ය්‍යාවෙනි, කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ නහමක් කියන්නැ, ආර්‍ය්‍යාව වනාහි ඡන්‍දයෙනුදු අගතියට යන්නී යැ, ... භයෙනුදු අගතියට යන්නීයැ” යි. දෙවනවට දු කියයුත්තී යැ ... තෙවනවට දු කියයුත්තී යැ ... ඉදින් දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි. ඉදින් නො දුරැලා නම් දුකුළා ඇවැත් වෙයි. එ මෙහෙණ සමනුභාෂණ කර්‍ම කළයුත්තී යැ, මෙසේ ද මහණෙනි; සමනුභාෂණ කර්‍ම කළයුත්තී යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මෙහෙණක විසින් සඞ්‍ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
“ආර්‍ය්‍යාවෙනි, සඞ්‍ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මෙහෙණ කිසියම් අධිකරණයෙක්හි පැරැදගියා කිපියා නො සියමන් වූවා භික්‍ෂුණීහු ඡන්‍දයෙනුදු අගතියට ගියාහු යැ … භික්‍ෂුණීහු භයෙනුදු අගතියට ගියාහු යැ යි මෙසේ කියයි. ඕ තොමෝ ඒ වස්තුව නො දුරැලයි, ඉදින් සඟනට පැමිණි කල් ඇත්තේ නම් සඞ්‍ඝ තෙමේ ඒ වස්තුව දුරැලීම පිණිස මෙනම් ඇති මෙහෙණට සමනුභාෂණ කර්‍ම කරන්නේ යැ, මේ ඥප්ති යි.