2. 7.
සප්තම සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාළී භික්‍ෂුණී තොමෝ මෙහෙණන් සමග ඩබර කොට කිපියා නො සියමන් (සතුටු) වූවා මෙසේ කියයි “බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම, මෙ මැ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ගේ හමුවෙහි බඹසර වෙසෙමැ” යි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා චණ්ඩකාළී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම, මේ මැ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ගේ හමුවෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කිවුදැ” යි ... සැබෑද මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි ... කිම, මේ ශාක්‍යදුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන්ම හමුවෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කියා ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, චණ්ඩකාළී භික්‍ෂුණී කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි. කිම මේ ශාක්‍ය දුහිතෘ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුවෙහි බඹසර වෙසෙ මැ යි මෙසේ කිවු ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ ද මහණෙනි, මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
“යම් මෙහෙණක් තොමෝ කිපියා නො සතුටු වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි’ කිම ශාක්‍ය දුහිතෘ වූ මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති, මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැ යි මෙසේ කියා නම් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් මෙසේ කිය යුතු වන්නී යැ, “ආර්‍ය්‍යාවෙනි, කිපියා නො සියමන් වූවා බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ ද ?ලජ්ජා ඇති කුකුස් ඇති මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැයි නහමක් කියන්නැ. ආර්‍ය්‍යාවෙනි, සිත් අලව, ධර්‍මය ස්වාඛ්‍යාත යැ මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර වස”යි. මෙසේත් ඒ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් කියනු ලබන්නී එසේ මැ දැඩි වැ ගනී නම් එ මෙහෙණ (අන්) මෙහෙණන් විසින් ඒ දෘෂ්ටිය දුරැලීම පිණිස තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කළයුත්තී යැ, ඉදින් තුන් යළ තෙක් සමනුභාෂණ කර්‍ම කරනු ලබන්නී එය දුරැලා නම් මෙසේ තෙල දුරැලීම මැනැවි, ඉදින් නො දුරැලා නම් මේ මෙහෙණ ද තුන් යළ අවසන්හි පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ” ය යි.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණි යි.
කුපිතා අනත්තමනා: නො ඇලුණී හැපුණු සිත් ඇත්තී හටගත් (පිළිඝු) හුල් ඇත්තී;
එවං වදෙය්‍ය: බුදුන් ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ධර්‍මය ප්‍රත්‍යාඛ්‍යාන කරමි, සඞ්ඝයා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, ශික්‍ෂා ප්‍රත්‍යාඛ්‍යාන කරමි, කිම ශාක්‍යදුහිතෘ වූ මේ ශ්‍රමණීහු මැ ශ්‍රමණීහු නම් වෙත් ද? ලජ්ජා ඇති කුකුස් ඇති ශික්‍ෂා කැමැති අන්‍ය වූ ශ්‍රමණීහු ද වෙති. මම ඔවුන් හමුයෙහි බඹසර වෙසෙමැ යි.
සා භික්ඛුනී: යමක් මෙසේ කියනු සුළු නම් ඒ මෙහෙණ යැ.