2. 3.
තෘතීය සංඝාදිශේෂය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති, එසමයෙහි වනාහි භද්‍රා කාපිලානියගේ අතැවැසි මෙහෙණක් මෙහෙණන් සමග ඩබර කොට ගම්බද නෑකුලයකට ගියා යැ. භද්‍රා කාපිලානී තොමෝ එ මෙහෙණ නො දක්නී මෙහෙණන් පිළිවුසූ යැ. “මෙනම් ඇත්තී කොහිදැයි නො දක්නා ලැබේ” යැයි. ආර්‍ය්‍යාවෙනි, මෙහෙණන් සමග ඩබර කොට නො දක්නා ලැබේ යැයි. මෑණිවරුනි, අසුවල් ගමෙහි මැයගේ නෑ කුලයෙක් වෙයි. එහි ගොස් සොයා බලව යි කිවු යැ. මෙහෙණෝ එහි ගොස් එ මෙහෙණ දැක මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, තෝ කුමකට හුදෙකලා වැ අවු ද? කිම නො නසනලදු දැයි, ආර්‍ය්‍යාවෙනි, නො නසන ලදුයෙම් වෙමැයි (කිවුයැ.)
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට ගියා” දැයි ... ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට යා දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ “කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන්ගමකට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ ද වනාහි මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.
යම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා අන් ගමකට යා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
මෙසේ මේ සිකපදය භාග්‍යවතුන් විසින් මෙහෙණන්හට පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි මෙහෙණෝ දෙදෙනෙක් සාකේතයෙන් සැවැතට (යනු පිණිස) අදන්මඟට පිළිපන්නාහු වෙති, අතරැමඟෙහි නදියක් තරණය කළ යුතු වෙයි, එකල්හි ඒ මෙහෙණෝ නැවියන් වෙත එළැඹ මෙය කීහු, “ඇවැත්නි, අප එතර කරවන්නහු නම් මැනැවැ” යි, ආර්‍ය්‍යාවෙනි, දෙදෙන එක්වැ වරකට එතර කරවන්නට නො හැක්කැයි. එකෙක් එකක එතර කැරැවීයැ. එතර වූයේ එතර වූවහු දූෂණය කෙළේ යැ, එතර නො වූයේ එතර නො වූවහු දූෂණය කෙළේ යි, ඔහු පසුවැ එකතු වැ පිළිවුසූහු. කිම, ආර්‍ය්‍යාවෙනි, නො නසන ලද දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමි, ආර්‍ය්‍යාවෙනි, තෙපි නො නසන ලද්දවු දැයි, ආර්‍ය්‍යාවෙනි, නසන ලදුයෙම් වෙමි යි කිවු යැ.
4. ඉක්බිති ඒ මෙහෙණෝ සැවැතට ගොස් මෙහෙණන්හට තෙල කරුණ සැලකළහ. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා (ගඟෙකින් එතෙරට) ගියා” දැයි ... සැබෑ ද මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට යා දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... “කෙසේ නම් මහණෙනි, මෙහෙණක් තොමෝ හුදෙකලා වූවා ගඟෙකින් එතෙරට ගියා ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි, ... මෙසේ මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය උදෙසත්වා.