2. 4.
චතුර්ත්ථ සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි චණ්ඩකාලි භික්ෂුණී තොමෝ ඩබර කරන්නී කලහකරන්නී විරුද්ධවාද කරන්නී බහින්බස් වන්නී සඞ්ඝයා කෙරෙහි අධිකරණ කරන්නී වෙයි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ඇයට කර්ම කරන කල්හි ඔවුනට පටහැණි වැ කරුණු කියයි.
එසමයෙහි වනාහි ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ කිසියම් ඇවැසි කටයුත්තක් හේතු කොට ගෙන ගමකට ගියා යැ. එකල්හි භික්ෂුණී සඞ්ඝ තෙමේ ථුල්ලනන්දා භික්ෂුණිය බැහැර ගියා යැයි චණ්ඩකාලී මෙහෙණහට ඇවැත් හෙයින් නො දැක්මෙහි උත්ක්ෂේපණීය කර්මය කෙළේයැ. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ ගමෙහි ඒ ඇවැසි කටයුත්ත තීරණය කොට යළිදු සැවැතට පෙරළා පැමිණියා යැ. චණ්ඩකාලී භික්ෂුණී තොමෝ එන ථුල්ලනන්දා මෙහෙණහට අසුනක් නො මැ පැනවූ යැ. පා දෝනා දිය පාපුටුව පා උලන පුවරුව නො මැ වෙතැ තැබූ යැ. පෙරැගමන් කොට පා සිවුරු නො පිළිගතු. පැනින් නො පිළිවූසු. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ චණ්ඩකාළී මෙහෙණහට මෙය කිවූ යැ: “ආර්ය්යාවෙනි, තෝ කුමක් හෙයින් මා පැමිණෙන කල්හි අසුනක් නො මැ පැනවුව, පාදෝනාදිය පාපුටුව පා උලන පුවරුව නො මැ වෙත තැබුව, පෙරැ ගමන් කොට පාසිවුරු නො පිළිගතුව, පැනින් නො පිළිවුසුවැ” යි. “ආර්ය්යාවෙනි, පිළිසරණ නැතියකට යම්සේ නම් එසේ ම මැයට ද වේ” යැයි. ආර්ය්යාවෙනි, තෝ කුමක් හෙයින් පිළිසරණ නැතියක් වීහි ද? ආර්ය්යාවෙනි, මේ භික්ෂුණීහු “මැය පිළිසරණ නැත්තියක අප්රසිද්ධ යැ, මැය පිළිබඳ කිසියම් පටහැණිවැ කියන්නෙක් නැතැ”යි ඇවැත් හෙයින් නො දැක්මෙහි උකෙච්නීකම් කළහ යි. ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ “මොව්හු බාල යැ මොව්හු අවියත්හු යැ මොව්හු කර්මය හෝ කර්මදෝෂය හෝ කර්මවිපත්තිය හෝ කර්මසම්පත්තිය හෝ නො දනිති, ඇපි වනාහි කර්මය ද කර්මදෝෂය ද කර්මවිපත්තිය ද කර්මසම්පත්තිය ද දැනුම්හ, ඇපි වනාහි නො කළ කර්මය හෝ කරන්නම්හ, කළ කර්මය හෝ කෝපනය කරන්නම්හ” යි යුහු යුහු වැ භික්ෂුණී සඞ්ඝයා රැස්කරවා ලා චණ්ඩකාලී මෙහෙණ අවසාරණය (යළි ඇතුළත් කිරීම) කැරැවූ යැ.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආර්ය්ය ථුල්ලනන්දා තොමෝ සමඟ සඟහු විසින් ධර්මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්දය නො දැනැ අවසාරණය කළා” දැයි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සමඟ සඟහු විසින් ධර්මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්දය නො දැනැ (සඟමැදට) ඇතුළත් කළා දැයි, සැබැව භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ. ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ සමඟ සඟහු විසින් ධර්මයෙන් විනයයෙන් ශාස්තෘශාසනයෙන් උඛෙච්නී කම් කරන ලද මෙහෙණක කාරකසඞ්ඝයා නො පිළිවිසැ ගණයාගේ ඡන්දය නො දැනැ ඇතුළත් කළා ද? මහණෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... තව ද මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා.