2. 2.
ද්විතීය සඞ්ඝාදිශේෂය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි විසල්පුරැ එක්තරා ලිච්ඡවියකුගේ භාර්ය්යා තොමෝ ඉක්මවා හැසිරෙන්නී වෙයි, එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ඒ ස්ත්රියට මෙය කීයැ: “මැනැවි විරමණය වව, තාහට නපුරක් කරන්නෙමැ” යි, මෙසේත් කියනු ලබන්නී නො පිළිගතු. එසමයෙහි වනාහි විසල්පුරැ ලිච්ඡවි ගණයා කිසියම් කටයුත්තක් හේතු කොට ගෙන රැස්වූයේ වෙයි. එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ඒ ලිච්ඡවීනට මෙය කීයැ: “ආර්ය්යයෙනි, එක් ස්ත්රියක මාහට අනුදනුව” යි. හෝ නම් කවර යැ? මාගේ භාර්ය්යාව ඉක්මවා හැසිරෙයි. ඇය නසා ලන්නෙමැයි, දනුව යි (කීයැ.)
2. ඒ ස්ත්රී තොමෝ ‘සැමියා මා නසාලනු කැමැත්තේ ලැ’යි ඇසූයැ, වරබඩු රැගෙන සැවැතට ගොස් තොටුවන් වෙත එළඹ පැවිද්ද යැදූ යැ, තොටුවෝ පැවිදි කරවන්නට නො කැමැති වූහු. මෙහෙණන් වෙත එළඹ පැවිද්ද යැදූ යැ. මෙහෙණෝත් පැවිදි කරවන්නට නො කැමැති වූහු, ථුල්ලනන්දා භික්ෂුණිය වෙත එළඹ බඩුපොදිය දක්වා පැවිද්ද යැදූ යැ, ථුල්ලනන්දා භික්ෂුණී තොමෝ බඩුපොදිය ගෙන පැවිදි කරවූ යැ.
3. ඉක්බිති ඒ ලිච්ඡවි තෙමේ ඒ ස්ත්රිය සොයන්නේ සැවැතට ගොස් මෙහෙණන් කෙරෙහි පැවිදිවූවහු දැක පසේනදි කොසොල් රජු වෙත එළඹියේ යැ, එළඹ පසේනදි කොසොල් රජුහට මෙය කීයැ: “දේවයෙනි, භාර්ය්යාව වරබඩු රැගෙන සැවැතට පැමිණියා යැ, දේවතෙමේ ඇය අනුදනීව” යි, එසේ නම් කොළෙනි, සොයා කියවයි. දේවයෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදිවූවා දක්නා ලද්දී යැ. ඉදින් කොළෙනි, මෙහෙණන් කෙරෙහි පැවිදි වූ නම් ඕතොමෝ කිසිවක් කරන්නට නො ලබන්නී යැ, ධර්මය ස්වාඛ්යාත යැ, මැනැවින් දුක් කෙළවර කිරීම පිණිස බඹසර කෙරේව යි.
4. එකල්හි ඒ ලිච්ඡවි තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මෙහෙණෝ සෙරක පැවිදි කරවූහු දැ” යි. භික්ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ ලිච්ඡවිහුගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
5. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්ය්යා ථුල්ලනන්දා තොමෝ සෙරක පැවිදි කරවූ” දැයි ... සැබෑද මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සෙරක පැවිදි කරවූදැයි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්දා භික්ෂුණිය සෙරක පැවිදි කරවු ද? මහණෙනි, මෙය අප්රසන්නයන් ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙහෙණෝ මේ සිකපදය මෙසේ උදෙසත්වා:
යම් මෙහෙණක් තොමෝ දැනැ දැනැ වධයට සුදුසු වූ (එසේ) දන්නා ලද්දා වූ සෙරක රජහු හෝ සඟහු හෝ ගණයා හෝ මුළුව හෝ ශ්රේණිය හෝ නො පිළිවිසැ පෙර පැවිදි වූවක තබා උපසපන් කරවා නම් මේ මෙහෙණ තොමෝත් පළමු (විකුම් කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතු වූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.