2. 1.
ප්‍රථම සඞ්ඝාදිශේෂය
ආර්‍ය්‍යාවෙනි, මේ සතළොස් සඞ්ඝාදිසෙසධර්‍මයෝ උදෙසීමට පැමිණෙත්.
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එකල්හි එක්තරා උපාසකයෙක් මෙහෙණසඟනට බඩුහලක් දී කලුරිය කෙළේ වෙයි. ඔහුට දෙපුත් කෙනෙක් වෙති. එකෙක් (බුදුසසුන්හි) සැදැහැ නැතියේ නො පහන් යැ. එකෙක් සැදැහැ ඇතියේ පහන් යැ. ඔහු පිය සතු ධනය බෙදූහු. එකල්හි ඒ සැදැහැ නැති නො පහන් පුත් ඒ සැදැහැ ඇති පහන් පුත්හට මෙය කීයැ: “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. මෙසේ කී කල්හි ඒ සැදැහැ ඇති පහන්වූයේ ඒ සැදැහැ නැති නො පහන්වූවහුට මෙය කීයැ: “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා: අපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. දෙවනවටදු ඒ සැදැහැ නැති නො පහන්වූයේ ඒ සැදැහැ ඇති පහන්වූවහුට මෙය කීයැ; “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. දෙවනවටදු ඒ සැදැහැ ඇති පහන්වූයේ ඒ සැදැහැ නැති නො පහන්වූවහුට මෙය කීයැ: “ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා: අපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. තෙවනවටදු ඒ සැදැහැ නැති නොපහන්වූයේ ඒ සැදැහැ ඇති පහන්වූවහුට මෙය කීයැ: “අපගේ බඩුහලෙක් වෙයි. එය බෙදමු” යැයි. එකල්හි ඒ සැදැහැ ඇති පහන්වූයේ “ඉදින් මාහට වන්නේ නම් මමද මෙහෙණ සඟනට දෙන්නෙමැ” යි ඒ සැදැහැ නැති නොපහන්වූවහුට ‘බෙදම්හ’ යි කීයැ.
2. ඉක්බිති ඔවුන් විසින් බෙදනු ලබන ඒ බඩුහල ඒ සැදැහැ නැති නොපහන්වූවහුට පැමිණියේයැ, එකල්හි ඒ සැදැහැ නැති නොපහන්වූයේ මෙහෙණන් වෙත එළැඹැ තෙල කීයැ: “ආර්‍ය්‍යාවෙනි නික්මෙවු, බඩුහල අපගේ යැ” යි. මෙසේ කී කල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ පුරුෂයාහට තෙල කිවූ යැ: ආර්‍ය්‍ය තෙමේ මෙසේ නහමක් කියාවා, තොපගේ පියහු විසින් මෙහෙණ සඟනට දෙන ලද්දේ” යැයි. දෙන ලද ද නො දෙන ලද ද දැයි අධිකරණ මහාමාත්‍රයන් පිළිවිසියහ. මහාමාත්‍රයෝ මෙසේ කීහු: “ආර්‍ය්‍යාවෙනි මෙහෙණ සඟනට දෙන ලදැයි කවරෙක් දනී” දැයි. මෙසේ කී කල්හි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ ඒ මහාමාත්‍රයන්හට මෙය කිවු යැ: “ආර්‍ය්‍යයෙනි තොප විසින් සාක්‍ෂ්‍ය තබාගෙන දෙනු ලබන දානයෙක් දක්නා ලද්දේ හෝ අසන ලද්දේ හෝ වේ” දැයි. එකල්හි ඒ මහාමාත්‍රයෝ ‘ආර්‍ය්‍යාව සැබැවක් කියා’යැයි ඒ බඩුහල මෙහෙණ සඟන සතු කළහ.
3. ඉක්බිති ඒ පුරුෂ තෙම පැරැදුණේ ලමු කොට සිතයි. නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් මේ මුඩු වඳ නො මෙහෙණෝ අපගේ බඩුහල අසිඳගත්හුදැ”යි. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ මහාමාත්‍රයනට තෙල කරුණ දැන්වූ යැ. මහාමාත්‍රයෝ ඒ පුරුෂයහට දඩ ගැස්සූහ. එකල්හි ඒ පුරුෂ තෙමේ දඩ ගසන ලදුයේ මෙහෙණවරට නුදුරු තන්හි ආජීවක සෙනස්නක් කරවා ‘තෙල මෙහෙණන්හට ආක්‍රෝශ කරවු’ යැයි ආජීවිකයන් නඟා යැවී යැ. ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ තෙල කරුණ මහාමාත්‍රයන්හට දැන්වූ යැ. මහාමාත්‍රයෝ ඒ පුරුෂයා දඟගෙහි ලැවූහ. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “මෙහෙණහු පළමු කොට බඩුහල අසිඳගත්හ, දෙවනුවැ දඩගැස්සූහ, තෙවනුවැ දඟගෙහි ලැවූහ. දැන් මරවන්නාහ” යි. භික්‍ෂුණීහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන එ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු.
4. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍ය ථුල්ලනන්‍දා තොමෝ අධිකරණ කරන්නී වුසූ” දැයි ... සැබෑ ද මහණෙනි ථුල්ලනන්‍දා තොමෝ භික්‍ෂුණී තොමෝ අධිකරණ කරන්නී වෙසේ දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ථුල්ලනන්‍දා භික්‍ෂුණී තොමෝ අධිකරණ කරන්නී වුසූ ද, මහණෙනි මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ මහණෙනි මෙහෙණහු මේ සිකපදය උදෙසත්වා:
යම් මෙහෙණක් ගැහැවියකු හෝ ගැහැවිපුතකු හෝ දසකු හෝ කම්කරුවකු හෝ යටත්පිරිසෙයින් මහණ පිරිවැජියකුදු සමග අධිකරණ කරන්නී වෙසේ නම් මේ මෙහෙණ පළමු (විකුම්කෙණෙහි මැ) පැමිණිය යුතු ඇවැත් ඇති (සඟහු කෙරෙන්) නෙරනට හේතුවූ සඟවෙසෙස් ඇවැතට පැමිණියා වේ යැයි.
5. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී ... මෝතොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂුණීයයි.