1. 2.
ද්වීතිය පාරාජිකය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති, එසමයෙහි වනාහි සුන්‍දරීනන්‍දා භික්‍ෂුණී තොමෝ සාළ්හ මිගාරනප්තෘහු කරණ කොටගෙන ගැබිනි වූවා වෙයි. යම්තාක් ගැබ තුරුණු වී ද, ඒ තාක් සැඟවූ යැ. ගැබ මුහුකුරා ගිය කල්හි සිවුරු හැරපියා වැදූ යැ. භික්‍ෂුණීහු ථුල්ලනන්‍දා මෙහෙණට මෙය කීහු. “ආර්‍ය්‍යාවෙනි, සුන්‍දරීනන්‍දා තොමෝ සිවුරු හැරැලූ නොබෝ කල් ඇත්තී වැදූ යැ. කිම ඕ තොමෝ මෙහෙණක වූවා මැ ගැබිනි වූවා නො වේ ද? එසේ යැ ආර්‍ය්‍යාවෙනි, කුමකට වනාහි ආර්‍ය්‍යාවෙනි, තෙපි පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොමැ චෝදනා කරහු ද? ගණයාට නො දැන්වූහු” දැයි. මැයට යම් අගුණයෙක් වේ නම් ඒ අගුණය මාහට යැ, මැයට යම් නින්‍දායෙක් වේ නම් ඒ නින්‍දාව මා හට යැ, මැයට යම් පරිවාරවිපත්තියෙක් වේ නම් ඒ පරිවාර විපත්තිය මාහට යැ, මැයට යම් අලාභයෙක් වේ නම් ඒ අලාභය මාහට යැ, කිම ආර්‍ය්‍යාවෙනි, මම තමාගේ අගුණය තමාගේ නින්‍දාව තමාගේ පරිවාරවිපත්තිය තමාගේ අලාභය මෙරමා හට දන්වන්නෙම් දැයි.
2. යම් ඒ මෙහෙණ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආර්‍ය්‍යා ථුල්ලනන්‍දා තොමෝ පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොම චෝදනා කළා ද? ගණයාට නො දැන් වූ දැ” යි ... සැබෑ ද මහණෙනි, ථුල්ලනන්‍දා තොමෝ පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොමැ චෝදනා කෙරේ ද? ගණයාට නො දන්වා දැ යි. සැබැව භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් මහණෙනි, ථුල්ලනන්‍දා මෙහෙණ පරිජි ඇවැතට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොම චෝදනා කළා ද? ගණයාට නො දැන් වූ ද? මහණෙනි මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය මෙහෙණෝ උදෙසත්වා:
යම් මෙහෙණක් පරිජි ඇවැතට පැමිණි මෙහෙණකට තමා දැනැ දැනැ නො මැ චෝදනා කෙරේ නම් ගණයාට නො ඇරොජා නම්, යම් කලෙකුදු ඕ තොමෝ සිටියා හෝ කලුරිය කළා හෝ නැසුණා හෝ (තීර්‍ත්‍ථායතනයකට) ගියා හෝ වන්නී ද, පසුවැ ඕ තොමෝ “ආර්‍ය්‍යාවෙනි, පෙරැ මැ මම ඒ බුහුන මෙබඳු ද මෙබඳු ද වූය යි තෙල මෙහෙණ දතිමි. වැළිදු තොමෝ නො මැ චෝදනා කෙරෙම් මැ යැ ගණයාට නො ඇරොජම්මැ” යැයි මෙසේ කියා නම් මෝ තොමෝත් පරිජි වූවා සහවාසයට නො නිසි වූවා වෙයි, වජ්ජපටිච්ඡාදිකා යැ.
3. යා පන: යම් යම්බඳු ... භික්ඛුනී: ... මෝ තොමෝ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස්කරන ලද භික්ඛුනී ය යි.
ජානාති නම් තොමෝ හෝ දනී, අන්හු හෝ ඇයට දන්වත්, ඕ තොමෝ හෝ දන්වයි.
පාරාජිකං ධම්මං අජ්ඣාපන්නං; අටවැදෑරුම් පරිජි අතුරෙන් එක්තරා පාරාජිකයකට අවනක:
නේවත්තනා පටිවෝදෙය්‍ය: තොමෝ චෝදනා නො කරන්නී යැ.
න ගණස්ස ආරෝචෙය්‍ය: අන් මෙහෙණන් හට නො දන්වන්නී යැ.
‘යදා ච සා ඨිතා වා අස්ස චුතාවා’ යනාදි තන්හි ඨිතා නම්: ස්වලිඞ්ගයෙහි (ශ්‍රමණවේශයෙහි) සිටියා කියනු ලැබෙයි. චුතා නම්; කලුරිය කළා කියනු ලැබෙයි. නාසිතා නම්: තොමෝ හෝ සිවුරු හැරැපූවා වෙයි, අනුන් විසින් හෝ සිවුරු හරවන ලද්දී වෙයි, අවසටා නම්, තීර්‍ත්‍ථායතනයකට සංක්‍රාන්ත වූවා කියනු ලැබේ.
සා පච්ඡා එවං වදෙය්‍ය: ආර්‍ය්‍යාවෙනි, පෙරැ මැ මම ඒ බුහුන මෙබඳු ද මෙබඳු ද වූය යි තෙල මෙහෙණ දතිමි.
නො ච ඛො අත්තනා පටිවෝදෙස්සන්ති: (මම) තොමෝ හෝ චෝදනා නො කරන්නෙමි.
න ගණස්ස ආරොචෙස්සං: අන් මෙහෙණන්හට නො දන්වන්නෙමි.
අයම්පි: පළමු පරිජි වූ මෙහෙණන් ගෙනැ කියනු ලැබෙයි.
පාරාජිකා හොති: යම් සේ තුවටුයෙන් ගිලිහුණු පඬුවන් කොළයක් නිල්වන් බවට නො නිසි වේ ද, එසේ මැ මෙහෙණක් පරිජි ඇවැතකට පැමිණි මෙහෙණක තමා දැනැ දැනැ නොම චෝදනා කරන්නෙමි, ගණයාට නො දන්වන්නෙමැ යි ධුරය බහා තැබූ මතුයෙහි නො මෙහෙණක් වූවා නො සැහැ දුවක් වූවා වෙයි. එහෙයින් පාරාජිකා හොති යි කියනු ලැබේ.
අසංවාසා: සංවාස නම් එක් වැ විනයකර්‍ම කිරීම යැ. එක්වැ පාමොක් උදෙසීම යැ, සමසික ඇතිබව යි, තෙලෙ සංවාස නම් වේ. ඒ සංවාසය ඇය සමග නැති, එහෙයින් අසංවාසා යි කියනු ලැබේ.