අෂ්ටම ශික්‍ෂාපද යි.
8. 6. 9.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ කඩු කාල්ගත් අත් ඇත්තාහට දහම් දෙසත් ...
“කඩුකාල් ආදි ශස්ත්‍ර ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. සත්‍ථ නම්: එක් පසින් මුවාත ඇති දෙපසින් මුවාත ඇති අවි යැ.
කඩුකාල් ආදි ශස්ත්‍ර ගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස කඩුකාල් ආදි ශස්ත්‍ර ගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවම ශික්‍ෂාපද යි.
8. 6. 10.
1. ශ්‍රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසත් ...
“අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. ආයුධ නම්: දුනු යැ දුනුවෙසෙස් යැ.
අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් නො දෙසියයුතු යි. යමෙක් අනාදරිය පිණිස අවිගත් අත් ඇති නො ගිලන්හට දහම් දෙසා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, ආපදායෙහි ඇවැත් නැති. උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
දශම ශික්‍ෂාපද යි.
සවන සුරුසුරු වර්‍ග යි.