සුරුසුරු වර්ගය
8. 6. 1.
1. එසමයෙහි භාග්යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි එක්තරා බමුණක්හු විසින් සඟනට කිරිපැනෙක් පිළියෙළ කරන ලද්දේ වෙයි. භික්ෂූහු සුරුසුරු හඬ කෙරෙමින් කිරි බොත්. එක්තරා නළුවිරූ මහණෙක් මෙසේ කී යැ: මේ සියලු සඞ්ඝ තෙමේ ශීතයෙන් වෙවුළන ලද්දේ යැ යි හඟිමි යි. යම් ඒ භික්ෂූ කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් මහණ තෙමේ සඟහු ඇරැබැ කෙළිකවට කම් කෙළේ” දැ යි ... සැබෑ ද මහණ තෝ සඟහු ඇරැබැ කෙළිකවට කම් කෙළේ දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය තෝ සඟහු ඇරැබැ කෙළිකවටකම් කෙළෙහි ද? හිස් පුරුෂය මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... ගරහා දැහැමි කථා කොට මහණුන් ඇමැතුහු. “මහණෙනි, බුදුන් හෝ ධර්මය හෝ සඞ්ඝයා හෝ ඇරැබැ කෙළිකවටකම් නො කළයුතු යි. යමෙක් කරන්නේ නම් දුකුළා ඇවැත් වේ. ඉක්බිති භාග්යවතුන් වහන්සේ එමහණහට නොයෙක් කරුණෙන් ගරහා දුබරබැව් පිණිස ... මෙසේ ද වනාහි මහණෙනි මේ සිකපදය උදෙසවු:
“සුරුසුරු හඬ කෙරෙමින් නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
2. සුරුසුරු හඬ කෙරෙමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස සුරුසුරු හඬ කෙරෙමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ප්රථම ශික්ෂාපදයි.
8. 6. 2.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ අත ලොවමින් වළඳත් ...
“අත ලොවමින් නො වළඳන්නෙමි යි හික්මියයුතු යැ” යි.
2. අත ලොවමින් නො වැළැඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස අත ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
ද්විතීය ශික්ෂාපද යි.
8. 6. 3.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ පාත්රය ලොවමින් වළඳත් ...
“පාත්රය ලොවමින් නො වළඳන්නෙමි යි හික්මියැ යුතු” යි.
2. පාත්රය ලොවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස පාත්රය ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, මඳ දැයෙහි, ඉතිරියෙහි එක් කොට ඇද ලෙවැ වළඳා නම්, අවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
තෘතීය ශික්ෂාපද යි.
8. 6. 4.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ තොල් ලොවමින් වළඳත් ...
“තොල් ලොවමින් නො වළඳන්නෙමියි හික්මියැ යුතු” යි.
2. තොල් ලොවමින් නො වැළඳිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස තොල් ලොවමින් වළඳා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට ... ආදිකම්මිකයහට ඇවැත් නැති.
චතුර්ත්ථ ශික්ෂාපද යි.