පඤ්චම ශික්ෂාපද යි.
8. 6. 6.
1. එසමයෙහි භාග්යවත් බුදුහු භගු ජනපදයෙහි සුංසුමාරගිරියෙහි භෙසකලාවන නම් මුවවෙනෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්ෂූහු කොකනද පහයෙහි බත්හුළු සහිත පාදෙවූ දිය ඇතුළුගෙහි දමත්. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත් “කෙසේ නම් ශ්රමණ ශාක්යපුත්රීයයෝ කාමභෝගී ගිහියන් මෙන් බත්හුළු සහිත පාදෙවූ දිය ඇතුළුගෙහි දැමූහු” දැ යි.
2. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්තිශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවති, “කෙසේ නම් භික්ෂූහු බත්හුළු සහිත පා දෙවූ දිය අතුරුගෙහි දැමූහු දැ යි ... සැබෑ ද මහණෙනි, භික්ෂූහු බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි දමද්දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ඒ හිස් පුරුෂයෝ බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි දැමූහු ද? මහණෙනි මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි නො දමන්නෙමි යි හික්මියැ යුතු” යි.
3. බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි නො දැමිය යුතු යි. යමෙක් අනාදරිය පිණිස බත්හුළු සහිත පා දෙවූ දිය ඇතුළුගෙහි දමාපියා නම් දුකුළා ඇවැත් වේ.
නො සිතා කරන්නහුට, නො සිහියෙන් කරන්නහුට, නො දන්නහුට, ගිලනහුට, උදුරා හෝ බිඳ හෝ පඩික්කමෙහි හෝ බැහැරැ කොට හෝ දමාපියා නම් ඇවැත් නැති. ආපදායෙහි, උම්මත්තකයහට, ආදිකම්මිකයහට ඇවැත් නැති.
ෂෂ්ඨ ශික්ෂාපද යි.
8. 6. 7.
1. ශ්රාවස්තිනිදාන යි – එසමයෙහි වනාහි සවග මහණෝ සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසත්. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණෝ සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසූහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි සත්ගත් අත් ඇත්තාහට දහම් දෙසුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“සත්ගත් අත් ඇත්තාහට දහම් නො දෙසන්නෙමි යි හික්මියැ යුතු” යි.
මෙසේත් භාග්යවතුන් විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.