7. 3.
තුන්වැනි පාටිදේසනීය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬුසිටුහු කරවා දුන් දෙව්රම් වෙහෙරෙහි වැඩවෙසෙති. එසමයෙහි සැවැත් නුවර එක්තරා කුලයක් උවසු උවැසි දෙපසින් පහන් වූයේ වෙයි. සැදැහැයෙන් වැඩෙයි, භෝගයෙන් පිරිහෙයි. ඒ කුලයෙහි පෙරබත් වේලෙහි යම් ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ උපදී ද එ හැම භික්ෂූනට විසඳා (බෙදා දී) ඇතැම් දවසෙක නිරාහාර වැ ද හිඳිති. මිනිස්සු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “කෙසේ නම් ශ්රමණශාක්යපුත්රයෝ පමණ නො දැනැ පිළිගන්නාහු ද මොවුනට දී ඇතැම් දවසෙක නිරාහාර වැ ද හිඳිති” යි. භික්ෂූහු අවමන් කරන නුගුණ කියන නුගුණ පතුරුවන ඒ මිනිසුන්ගේ බස් ඇසූහ. එසඳ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට තෙල කරුණ දැන්වූහ.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක: “මහණෙනි, යම් කුලයක් සැදැහැයෙන් වැඩේ ද භෝගයෙන් පිරිහේ ද මෙවන් කුලයට ඤත්තිදුතිය කර්මයෙන් ‘සේඛසම්මුති’ දෙන්නට අනුදනිමි”. මහණෙනි මෙසේ දියයුතු යැ. ප්රතිබල සම්පන්න ව්යක්ත මහණක්හු විසින් සඞ්ඝයා ඥාපන කළ (දැන්විය) යුත්තේ යැ.
3. “වහන්ස සඞ්ඝයා මාගේ වචන අසාවා. මෙ නම් කුලය සැදැහැයෙන් වැඩෙයි, භෝගයෙන් පිරිහෙයි. ඉදින් සඞ්ඝයාට ප්රාප්තකාල වී නම් සඞ්ඝයා මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙන්නේ යැ. මේ ඥප්ති යි.
වහන්ස, සඞ්ඝයා මාගේ වචන අසාවා. මෙ නම් කුලය සැදැහැයෙන් වැඩෙයි. භෝගයෙන් පිරිහෙයි. සඞ්ඝයා මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙයි. යම් ආයුෂ්මත් කෙනකුන්ට මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දීම රිසියෙයි නම්, ඒ ආයුෂ්මත් තුෂ්ණීම්භූත වේවා. යමක්හට නො රිසි යෙයි නම් හේ කියන්නේ යැ.
සඞ්ඝයා විසින් මෙ නම් කුලයට ‘සේඛසම්මුති’ දෙන ලදු. සඞ්ඝයාට රිසියෙයි. එහෙයින් තුෂ්ණීම්භූත වී. තෙල මෙසේ ධරමි” යි
මහණෙනි, මේ ශික්ෂාපදය මෙසේ උදෙසවු:
“යම් ‘සේඛසම්මත’ කුල කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ සියතින් පිළිගෙනැ කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ ඒ මහණහු විසින් ඇවැත්නි, නොසරුප් වූ පිළිදෙස්නී වූ ගැරැහිය යුතු ඇවැතකට අවන්මි. එය පිළිදෙසමි’ යි පිළිදෙසියැ යුතු”.
භාග්යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ සිකපදය පනවන ලදී.
4. එසමයෙහි සැවැත්නුවර උත්සවයෙක් වෙයි. මිනිස්සු භික්ෂූන් නිමන්ත්රණ කොට වළඳවති. ඒ (සේඛසම්මත) කුලය ද භික්ෂූන් නිමන්ත්රණ කෙළේ යැ. භික්ෂූහු කුකුස් කරන්නාහු “භාග්යවතුන් විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට ප්රතික්ෂේප කරන ලදැ” යි නො ඉවසති. ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “යම් හෙයෙකින් ආර්ය්යයෝ අපගේ නිමන්ත්රණ නො පිළිගනිත් නම් අපගේ ජීවිතයෙන් කවර අර්ත්ථයෙක් දැ” යි. භික්ෂූහු ඒ මිනිසුන් අවමන් කරනුවන් නුගුණ කියනුවන්, නුගුණ පතුරනුවන්ගේ බස් ඇසූහ. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
5. එසඳ භාග්යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි ලා දැහැමි කථා කොට භික්ෂූන් ඇමැතූ සේක: “මහණෙනි, නිමන්ත්රණ කරන ලදුවහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ සියතින් පිළිගෙන කන්නට බුදින්නට අනුදනිමි”. මහණෙනි මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“යම් ඒ සේඛසම්මත කුල කෙනෙක් ඇද්ද යම් මහණෙක් එබඳු සේඛසම්මත කුලයෙහි පෙර නිමන්ත්රණ නො කරන ලද්දේ ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින්, ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි පාටිදේසනා කළ යුතු.
භාග්යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ සිකපදය පනවන ලදී.
6. එසමයෙහි එක්තරා මහණෙක් ඒ කුලයට කුලුපග වෙයි. එසඳ ඒ මහණ පෙරවරුයෙහි හැඳැපෙරෙවැ පාසිවුරු ගෙන ඒ කුලය කරා එළැඹියේ යැ, එළැඹැ පැනවූ අස්නෙහි හින. එසමයෙහි ඒ මහණ ගිලන් වෙයි. එසඳ ඒ මිනිස්සු ඒ මහණහට තෙල කීහ: “වහන්ස ‘වළඳව’ යි එසඳ එ මහණ භාග්යවතුන් විසින් “නිමන්ත්රණ නො කරන ලදහු විසින් සේඛසම්මත කුලයෙහි ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ සියතින් පිළිගෙන කනු හෝ බුදිනු ප්රතික්ෂිප්ත යැ” යි කුකුස් කරනුයේ නො පිළිගත. පිඬුසිඟා යන්නට නො හැකි වී. සුන්බත් වී. ඉක්බිති එ මහණ අරමට ගොස් භික්ෂුනට තෙල කරුණ දැන්වී. භික්ෂූහු භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.