පාටිදේසනීය කාණ්ඩය
ආයුෂ්මත්නි, මේ සතර පාටිදේසනීය ධර්මයෝ උදෙසීමට පැමිණෙත්.
7. 1.
පළමුවන පාටිදේසනීය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර ‘ජේතවන’ නම් වූ අනේපිඬුසිටුහුගේ ආරාමයෙහි වැඩැ වෙසෙති. එසමයෙහි එක්තරා මෙහෙණක් සැවැත්නුවර පිඬුසිඟා ඇවිද පෙරළා එන කල්හි එක්තරා මහණක්හු දැක මෙසේ කිව. “ආර්ය්යයෙනි, භික්ෂාව පිළිගනු මැනැව” යි. “මැනැවැ නැගණියෙනි” යි සියල්ල මැ ගත්තේ යැ. ඕ වේලා ආසන්න කල්හි පිඬුසිඟා යන්නට නො හැකි වූ, එහෙයින් මැ සුන්බත් වූ යැ. එකල්හි ඒ මෙහෙණ දෙවන දවස්හි දු තුන්වන දවස්හි දු සැවැත්නුවර පිඬුසිඟා ඇවිද පෙරළා එන කල්හි ඒ මහණහු දැක තෙල කිව: “ආර්ය්යයෙනි, භික්ෂාව පිළිගනු මැනැවැ” යි. “මැනැවැ නැගණියෙනි” යි සියල්ල මැ පිළිගත. ඕ වේලා ආසන්න කල්හි පිඬුසිඟා යන්නට නොහැකි වූවා සුන්බත් වූ යැ.
2. එසඳ ඒ මෙහෙණ සතරවන දවස්හි වීථියෙහි වෙවුළමින් යෙයි. සිටුගැහැවියෙක් රථයෙකින් පෙරමගට එන්නේ ඒ මෙහෙණට මෙය කී: “පහව යා ආර්ය්යාවෙනි” යි. ඕ බැහැරවන්නී එහි මැ ඇදැවැටුණා යැ. සිටුගැහැවි ඒ මෙහෙණ ක්ෂමා කරවී: “කමන්නැ ආර්ය්යාවෙනි, මා විසින් හෙළනලදු යැ” යි. “ගැහැවියෙනි, මම තොප විසින් නො හෙළන ලදුමු. වැළිත් මම් මැ දුබලයමු” යි. “ආර්ය්යාවෙනි, තෙපි කවර හෙයින් දුර්වල වූ දැ” යි. එකල්හි ඒ මෙහෙණ සිටු ගැහැවියහට තෙල කරුණ දැන්වූ. සිටුගැහැවි ඒ මෙහෙණ ගෙට පමුණුවා වළඳවා “කෙසේ නම් වහන්දෑවරු මෙහෙණ අතින් ආමිෂ පිළිගන්නාහු ද, මාගම දුකසේ ආමිෂ ලබන්නී යැ” යි අවමන් කරයි. අගුණ කියයි, නුගුණ පතුරුවයි.
3. භික්ෂූහු අවමන් කරන අගුණ කියන නුගුණ පතුරුවන ඒ ගැහැවි සිටුහුගේ බස් ඇසූහ. යම් අල්පෙච්ඡ භික්ෂු කෙනෙක් ඇද්ද ඔහු “කෙසේ නම් මහණ මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තේ දැ” යි අවමන් කෙරෙති අයුණු කියති නුගුණ පතුරුවති. සැබැව ද මහණ, තෙපි මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තේ දැ’ යි. සැබෑව භාග්යවතුන් වහන්සැ’ යි. “මහණ, තොපගේ නෑ මෙහෙණක් ද? නොනෑ මෙහෙණක් දැ?” යි. “නොනෑ මෙහෙණක භාග්යවතුන් වහන්සැ” යි. තුච්ඡ පුරුෂය, නොනෑ මහණෙක් නොනෑ මෙහෙණකගේ නිසි බව හෝ නොනිසි බව හෝ ඇති බව හෝ නැති බව හෝ නො දනියි. තුච්ඡපුරුෂය, කෙසේනම් තෙපි නොනෑ මෙහෙණක අතින් ආමිෂ පිළිගත්තාහු දැ? තුච්ඡපුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“යම් මහණෙක් ඇතුළුගමට පිවිසි නොනෑ මෙහෙණක අතින් ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ සියතින් පිළිගෙන කන්නේ නම් හෝ බුදින්නේ නම් හෝ ඒ මහණහු විසින්: ඇවැත්නි, අසත්ප්රාය වූ පාටිදේසනීය වූ ගර්හනීය වූ ඇවැතකට පැමිණියෙමි. එය පෙරළා දෙසමි” පෙරළා දෙසියයුතු,
4. යො පන යනු: යමෙක්, යම් බඳුයෙක් ... භික්ඛු යනු: ... මෙ තෙම මේ අර්ත්ථයෙහි ‘භික්ෂු’ යි අභිප්රේත යි.
අඤ්ඤාතිකා නම්: මව්පසින් හෝ පියපසින් හෝ සත්මුතු යුගය තෙක් අසම්බද්ධ වූවා යි.
භික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා ය.
අන්තරඝර නම්: වීථි යැ විනිවිද නොගිය වීථි යැ සතරමංසන්ධි යැ කුලගේ යි.
ඛාදනීය නම්: පස්බොජුන: යාමකාලික යැ සත්තාහකාලික යැ යාවජීවික යැ යන මේ හැර සෙස්ස ඛාදනීය නම.
භෝජනීය නම්: පස්බොජුන: ඕදන යැ කොමු යැ අත්සුණු යැ දියමස් යැ, ගොඩමස් යැ. ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
නොනෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණක අතින් ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි. විමති ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණ අතින් කෑයුතු හෝ බිදියයුතු දැයක් සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි. නෑ මෙහෙණෙක යන සංඥා ඇති වැ ඇතුළුගමට වන් නොනෑ මෙහෙණක අතින් ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ‘පාටිදේසනීය’ ඇවැත් වෙයි.
යාමකාලිකය සත්තාහකාලිකය යාවජීවිකය ආහාර පිණිස පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි. භික්ෂුණීන් කෙරෙහි උපසපන් මෙහෙණක අතින් ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ ‘කමි’ යි ‘බුදිමි’ යි පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි දුකුළා ඇවැත් වෙයි.