7. 4.
සතරවැනි පාටිදේසනීය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුරජාණන් වහන්සේ ශාක්යජනපදයෙහි කිඹුල්වත්පුර නිග්රෝධාරාමයෙහි වැඩවසන සේක. එසමයෙහි ශාක්යදාසයෝ විරුද්ධ වූවාහු වෙති. සැහැකුල කාන්තාවෝ වනසෙනසුන්හි දනක් දෙන්නට රිසි වෙති. “සැහැකුල කාන්තාවෝ වනසෙනසුන්හි දනක් දෙනු රිසිවූහ ල’ යි ශාක්යදාසයෝ ඇසූහ. ඔහු මග අවුරාසිටියහ. සැහැකුල කාන්තාවෝ ප්රණීත වූ ඛාද්ය භෝජ්ය ගෙනැ වනසෙනසුනට ගියහ. සැහැකුල මෙහෙකරුවෝ නික්ම සැහැකුල කාන්තාවන් පැහැර ගත්හ. දූෂණ ද කළහ. ශාක්යයෝ නික්ම ඒ බඩු සහිත හොරුන් අල්වාගෙනැ අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරවති: “කිසේ නම් වහන්දැවරු ආරාමයෙහි සොරකු වසනා කල්හි ආරොචන නො කෙරෙත් දැ” යි. භික්ෂූහු ඒ අවමන් කරන නුගුණ කියන නුගුණ පතුරුවන ශාක්යයන්ගේ බස් ඇසූහ. ... එසඳ ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
2. එසඳ භාග්යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කරුණෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක. එකරුණින් මහණෙනි, දසඅර්ත්ථ විශේෂයන් පිණිස භික්ෂූන්ට ශික්ෂාපද පනවන්නෙමි. සඞ්ඝයාගේ මනාබව පිණිස යැ ... සද්ධර්මස්ථිතිය පිණිස යැ විනයට උපස්ථම්භ පිණිස යි. මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“යම් ඒ සැක සහිත යැ යි සම්මත වූ ප්රතිභය සහිත වූ වන සෙනසුන් කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සෙනසුන්හි වාස කරන්නේ පළමු නොදන්වා ගෙනෙන ලද ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ ඇතුළුඅරම්හි දී සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින්: ඇවැත්නි, ගැරැහියැයුතු අසත්ප්රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි” යි.
භාග්යවතුන් වහන්සේ විසින් මෙසේත් මේ ශික්ෂාපදය පනවන ලද වේ.
3. එසමයෙහි එක්තරා මහණෙක් වනසෙනසුන්හි ගිලන්වූයේ වෙයි. මිනිස්සු ඛාද්ය භෝජ්ය ගෙන වනසෙනසුනට ගියහ. එසඳ ඒ මිනිස්සු ඒ මහණහට තෙල කරුණ කීහ; “වහන්ස, වළඳව’ යි. එසඳ ඒ මහණ භාග්යවතුන් විසින් වනසෙනසුන්හි දී ඛාද්යයක් හෝ භෝජ්යයක් හෝ සියතින් පිළිගෙන කනු බුදිනු ප්රතික්ෂේප කරන ලදැ’ යි කුකුස් කරන්නේ නොපිළිගත. පිඬුසිඟායන්නට නොහැකි විය. සුන්බත් වී. ඉක්බිති ඒ මහණ, තෙල කරුණ මහණුන්ට ආරොචන කළේ. භික්ෂූහු භාග්යවතුන් වහන්සේට තෙල කරුණ සැලකළහ.
4. එසඳ භාග්යවතුන් වහන්සේ තෙල නිදානයෙහි තෙල කාරණයෙහි දැහැමි කථා වදාරා භික්ෂූන් ඇමතූ සේක. “මහණෙනි, ගිලන් මහණහු විසින් වනසෙනසුන්හි දී කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ සියතින් පිළිගෙන කනු බොනු අනුදනිමි”. මහණෙනි මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“යම් ඒ සැක සහිත යැ යි සම්මත වූ ප්රතිභය සහිත වූ වන සෙනසුන් කෙනෙක් ඇද්ද, යම් මහණෙක් එබඳු සෙනසුන්හි වාස කරන්නේ නො ගිලන් වැ පළමු නො දන්වා ගෙනෙන ලද කෑයුතු දැයක් හෝ බිදියයුතු දැයක් හෝ ඇතුළුඅරම්හි දී සියතින් පිළිගෙන කා නම් හෝ බුදී නම් හෝ ඒ මහණහු විසින් ඇවැත්නි, ගැරැහිය යුතු අසත්ප්රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියෙමි. එය වෙන් කොට දෙසමි’ යි පටිදේසනා කළයුතු” යි.
5. යානි ඛො පන තානි ආරඤ්ඤකානි සේනාසනානි යනු: ආරණ්යක සේනාසන නම්: පශ්චිමය දුනු පන්සියයක් දුර වූයේ යි.
සාසඞ්ක නම්: ආරාමයෙහි හෝ ආරාමොපචාරයෙහි හෝ සොරුන් පිවිසි තැන් පැනෙයි. බත් බිදිතැන් පැනෙයි. සිටි තැන් පැනෙයි. හුන්තැන් පැනෙයි. වැදහොත් තැන් පැනේ.
සප්පටිභය නම්: ආරාමයෙහි හෝ ආරාමොපචාරයෙහි හෝ සොරුන් විසින් මිනිස්සු නසනලද්දාහු පැනෙති. වොලොගන්නා ලද්දාහු පැනෙති, පහර දෙන ලද්දාහු පැනෙත්.
යො පන යනු: යමෙක් යම් බඳුයෙක් ... භික්ඛු යනු: ... මේ තෙම මේ අර්ත්ථයෙහි ‘භික්ඛු’ යයි අදහස් කරන ලද්දේ යි.
තථාරූපෙසු සේනාසනේසු යනු: මෙබඳු සෙනසුන්හි.
අප්පටිසංවිදිත නම්: පස් සහදැමින් අතුරෙන් කිසිවකු යවා දන්වන ලද්දේ යැ. තෙල අප්පටිසංවිදිත නම. ආරාමය ආරාමොපචාරය තබා (හැරපියා) (අතරමග දුටු හෝ ගමට පැමිණි මහණහට) දන්වන ලද්දේ යැ. තෙල දැන්වීම ද අප්පටිසංවිදිත නම.