7. 2.
දෙවන පාටිදේසනීය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු රජගහනුවර කලන්දක නිවාප නම් වූ වේළුවන විහාරයෙහි වැඩවෙසෙති. එසමයෙහි භික්ෂූහු කුලයෙහි නිමන්ත්රණ කරන ලද්දාහු වළඳති. සවග මෙහෙණහු මෙහි සූප දෙව මෙහි බත් දෙව යි සවග මහණුනට වොසාසන (විධාන) කම් කරමින් සිටියාහු වෙති. සවග මහණහු ඇති තාක් වළඳති. අන් මහණහු සිත්සේ නො ලැබෙති. යම් අල්පේච්ඡ භික්ෂූ කෙනෙක් ... ඔහු අවමන් කෙරෙති, නුගුණ කියති, නුගුණ පතුරුවති: “කෙසේ නම් සවග මහණහු වොසාසන කම් කරන මෙහෙණන් නො වළහන්නාහු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි වොසාසන කම් කරන මෙහෙණන් නො වළහවූ ලැ” යි. සැබැව භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් මෝඝපුරුෂයෙනි , තොපි වොසාසන කම් කරන මෙහෙණන් නො වළහවූ ද? හිස් පුරුෂයෙනි, තෙල අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මෙසේත් මේ ශික්ෂාපදය උදෙසවු:
“මහණහු කුලයෙහි නිමන්ත්රණ කරන ලද්දාහු වළඳත් ද? ඉදින් එහි ඒ මෙහෙණ “මෙහි සූප දෙව මෙහි බත් දෙව” යි වොසාසන (විධාන) කම් කරන පියවින් සිටියා වේ ද, ඒ මහණුන් විසින් ඒ මෙහෙණ “නැගණියනි, භික්ෂූන් වළඳනා තාක් පහව යා” යි පහකළයුත්තී යැ. ඉදින් එක් මහණක්හට ද “නැගණියනි, භික්ෂූන් වළඳනා තාක් පහව යා” යි ඒ මෙහෙණ පහ කරන්නට නො වැටහේ නම් ඒ මහණුන් විසින් “ඇවැත්නි, ගැරැහියයුතු අසත්ප්රාය වූ පාටිදේසනීය ඇවැතකට පැමිණියම්හ. එය යළි දෙසම්හ” යි පිළිදෙසියයුතු”
2. භික්ඛු පනෙව කුලෙසු නිමන්තිතා භුඤ්ජන්ති යනු: කුල නම් සතර කුලයෝ යි: ක්ෂත්රියකුල යැ බ්රාහ්මණකුල යැ වෛශ්යකුල යැ ශුද්රකුල යි.
නිමන්තිතා භුඤ්ජන්ති යනු: පස් බොජුන් අතුරෙන් එක්තරා බොජුනෙකින් නිමන්ත්රණ කරනලද්දහු වළඳති.
භික්ඛුනී නම්: උභතෝසඞ්ඝයා කෙරෙහි උපසපන් වූවා යි.
වොසාසන්ති නම්: මිතුරු බව ඇති සේ දුටුමිතුරුබව ඇති සේ දැඩි මිතුරුබව ඇති සේ සමානෝපාධ්යායතා ඇති සේ සමානාචාර්ය්යතා ඇති සේ “මෙතන්හි සූප දෙව මෙතන්හි බත් දෙව” යි මෝ වොසාසන්ති නම.
තෙහි භික්ඛුහි යනු: වළඳනා භික්ෂූන් විසින්.
සා භික්ඛුනී යනු: ඒ වොසාසන කම් කරන මෙහෙණ යි. ඒ මහණුන් විසින් ඒ මෙහෙණ අපසාදන කළයුත්තී යැ: “නැගැණියනි භික්ෂූන් වළඳනා තාක් පහව යා” යි ඉදින් එකද මහණක්හු අපසාදනා නො කළ කල්හි ‘කමි’ ‘බුදිමි’ පිළිගනී නම් දුකුළා ඇවැත් වෙයි. පරඟලායෙහි පරඟලායෙහි පිළිදෙස්නී ඇවැත් වේ.
‘උපසපනක’ යන සංඥා ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වෙයි. විමති ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වෙයි. ‘අනුපසපනක’ යන සංඥා ඇත්තේ උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් පාටිදේසනීය ඇවැත් වේ.
භික්ෂුණීසංඝයා කෙරෙහි උපසපන් මෙහෙණ විධාන කරන කල්හි නො වළහා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපන ‘උපසපනක’ යන සංඥා ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. අනුපසපන (විධාන කරන කල්හි) විමති ඇත්තේ දුකුළා ඇවැත් වෙයි. අනුපසපන (විධාන කරන කල්හි) ‘අනුපසපනක’ යන සංඥා ඇත්තේ ඇවැත් නැති.
අනාපත්ති: තමාගේ බත දෙවවා ද නො දේ ද, මෙරමාගේ බත දේ ද නො දෙවා ද, යමක් නො දෙනලද නම් එහි දෙවවා ද, යම් තැනක නො දෙන ලද නම් එහි දෙවවා ද, හැමට සම වැ දෙවවා ද, සික්ඛමානාවට විධාන කෙරේ ද, හෙරණියට විධාන කෙරේ ද, පස්බොජුන් තබා හැමතන්හි ඇවැත් නැති. උමතුවූවහුට ආදිකාර්මිකයාට ඇවැත් නැති.
දෙවැනි පාටිදේසනීය යි.