6. 8. 9.
කම්මපටිබාහන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු පනත් විකුම් කොට එකක් එකක්හට කර්ම කරනු ලබන කල්හි වළහත්. එසමයෙහි වනාහි කිසියම් කරුණෙකින් සඞ්ඝයා රැස්වූයේ වෙයි. සවග මහණහු සිවුරුකම් කරන්නෝ එකක්හට ඡන්දය දුන්හු. එකල්හි සඞ්ඝයා ඇවැත්නි, මේ සවග මහණ එකලා වැ පැමිණියේ යැ. එබැවින් ඇපි මොහුට කර්ම කරම්හ යි ඔහට කර්ම කෙළේ යැ. එකල්හි එ මහණ සවග මහණුන් වෙතැ එළැඹියේ යැ. සවග මහණහු එ මහණහට මෙය කීහු. ඇවැත්නි, සඞ්ඝයා කුමක් කෙළේ දැයි. ඇවැත්නි, සඞ්ඝයා මාහට කර්ම කෙළේ යැ යි. ඇවැත්නි, ඇපි තොපට කර්ම කරන්නේ යැ යි තෙල කරුණ සඳහා ඡන්දය නුදුම්හ. ඉදින් තොපට කර්ම කරන්නේ යැයි ඇපි දන්නමෝ නම් ඇපි ඡන්දය නො දෙම්හ යි.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු දැහැමි කර්මයනට ඡන්දය දී පසු වැ ගරහන බවට පැමිණියේ”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි දැහැමි කර්මයනට ඡන්දය දී පසු වැ ගරහන බවට පැමිණෙවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දැහැමි කර්මයනට ඡන්දය දී පසු වැ ගරහන බවට පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් දැහැමි කර්මයනට ඡන්දය දී පසු වැ ගරහන බවට පැමිණෙන්නේ නම් පචිති වේ”යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
ධම්මික කම්ම නම්: අපලෝකන කර්ම යැ ඥප්ති කර්ම යැ ඥප්තිද්විතීය කර්ම යැ, ඥප්තිචතුර්ත්ථ කර්ම යි. ධර්මයෙන් විනයෙන් ශාස්තෘශාසනයෙන් කරන ලද තෙල කර්මය ධම්මික නම් වෙයි. ඡන්දය දී ගරහා නම් පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ ඡන්දය දී ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ ඡන්දය දී ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමි කම්සන් ඇතියේ ඡන්දය දී ගරහා නම් ඇවැත් නැති.
නො දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇතියේ නම් ඇවැත් නැති.
අධර්මයෙන් හෝ ව්යග්රයෙන් හෝ කර්මාර්හ නොවනුවක්හට කර්ම කරන ලදැ යි දන්නේ ගරහා නම් (ඇවැත් නොවේ), උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවවැනි කම්මපටිබාහන ශික්ෂාපද යි.