සහධම්මික වර්‍ගය
6. 8. 1.
සහධම්මික ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවරැ ඝෝෂිතාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්නයෝ අනාචාරයෙහි හැසිරෙති. භික්‍ෂූහු මෙසේ කීහු. “ඇවැත්නි, ඡන්නයෙනි, මෙබන්දක් නහමක් කරව, මෙය නො කැප”යැ යි. හේ මෙසේ කියයි. “ඇවැත්නි, මම යම්තාක් ව්‍යක්ත වූ විනයධර වූ අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමි”යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්නයෝ භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නෝ මෙසේ කීහු ද “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි ... සැබෑ ද ඡන්නයෙනි, තෙපි භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නහු මෙසේ කියා ද, “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නහු මෙසේ කීහු ද? “ඇවැත්නි මම යම් තාක් ව්‍යක්ත විනයධර අන් මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි. හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් භික්‍ෂූන් විසින් පැනවූ සිකපදයෙන් කියනු ලබන්නේ ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත විනයධර අන්‍ය මහණක්හු පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි මෙසේ කියන්නේ නම් පචිති වේ. මහණෙනි, හික්මෙන මහණහු විසින් දතයුතු යැ පිළිවිසිය යුතු යැ සිතිය යුතු යි. මේ එහි අනුධර්‍මතා යි.”
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛූහි; අන්‍ය භික්‍ෂූන් විසින්;
සහධම්මික නම්: භාග්‍යවතුන් වහන්සේ විසින් පනවන ලද යම් සිකපදයෙක් වේ නම් මෙය සහධම්මික නම් වේ. එයින් කියනු ලබන්නේ;
එවං වදෙය්‍ය: ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ අන්‍ය භික්‍ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙ මැ යි. පණ්ඩිත වූ ව්‍යක්ත වූ නුවණැති වූ බහුශ්‍රුත වූ ධර්‍මකථිකයක්හු පිළිවිසිමැ යි බෙණේ නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ මෙසේ කියා නම් පචිති ඇවැත් වේ.
(ප්‍රඥප්ත ශික්‍ෂාපද තබා) සූත්‍රාභිධර්‍මයෙන් කියනු ලබන්නේ මෙය සලේ පැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැරඇරැඹුමට නො පවතී යැ යි මෙසේ කියයි. ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ පණ්ඩිත වූ නුවණැති වූ බහුශ්‍රුත ධර්‍මකථික අන්‍ය භික්‍ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙ මැ යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු විසින් පනවන ලද සිකපදයෙන් හෝ සූත්‍රාභිධර්‍මයෙන් හෝ කියනු ලබන්නේ මෙය සලේ පැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරැඹුමට නො පවතී යැ යි මෙසේ කියයි. “ඇවැත්නි, මම යම් තාක් ව්‍යක්ත වූ විනයධර වූ පණ්ඩිත වූ නුවණැති බහුශ්‍රුත ධර්‍මකථික අන්‍ය භික්‍ෂුනමක් පිළිවිසිම් ද, ඒ තාක් තෙල සිකපදයෙහි නො හික්මෙන්නෙමැ”යි බෙණේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
සික්ඛමානෙන යනු: හික්මෙනු කැමැත්තහු විසින්;
අඤ්ඤාතබ්බං: දතයුතු යැ;
පරිපුච්ඡිතබ්බං යනු වහන්ස මෙය කෙසේ ද? මෙහි අර්‍ත්‍ථය කුමක් දැ යි.
පරිපඤ්හිතබ්බං යනු සිතිය යුතු යැ, තුලනය කළ යුතු යි,
අයං තත්‍ථ සාමීචි යනු මේ එහි අනුධර්‍මතා යි.
දන්නෙමි හික්මෙන්නෙමැ යි බෙණේ නම් ඇවැත් නැත. උම්මත්තක හට, ආදිකම්මිකහට ඇවැත් නැති.
පළමුවැනි සහධම්මික ශික්‍ෂාපද යි.