6. 8. 8.
උපස්සුති ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු ප්‍රියශීලී භික්‍ෂූන් සමඟ ඩබර කෙරෙති. ප්‍රියශීලී භික්‍ෂූහු මෙසේ කියත්: “ඇවැත්නි මේ සවග මහණහු අලජ්ජීහු යැ, මොවුන් සමඟ ඩබර කරන්නට නොහැකි” යැ යි සවග මහණහු මෙසේ කියත්: “කුමකට ඇවැත්නි, තෙපි අප අලජ්ජීවාදයෙන් පමුණුවවු” දැ යි ඇවැත්නි, තෙපි කොබ සිටැ ඇසුවහු දැ යි. ඇපි ආයුෂ්මතුන්ගේ බස් ඇසෙන තන්හි සිටියම්හ යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්; “කෙසේ නම් සවග මහණහු හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට බැස ගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටියෝ” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටිවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විවාදයට බැසගත් මහණුන්ගේ බස් ඇසෙන තන්හි සිටියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් හටගත් ඩබර ඇති හටගත් කලහ ඇති විරුද්ධවාදයට පැමිණි මහණුන්ගේ බස් ඇසෙන තන්හි මොහු යමක් බෙණෙත් නම් එය අසන්නෙමැ’යි අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට සිටින්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛූනං: අන් මහණුන්ගේ.
භණ්ඩනජාතානං කලහජාතානං විවාදාපන්නානං: හටගත් අධිකරණ ඇතියවුන්ගේ.
උපස්සුතිං තිට්ඨෙය්‍ය: මොවුන්ගේ බස් අසා චෝදනා කරන්නෙමි සිහි කරවන්නෙමි නැවැතැ චෝදනා කරන්නෙමි නැවැතැ සිහි කරවන්නෙමි මකු කරන්නෙමැ යි යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ අසා නම් පචිති වෙයි. පසු වැ යන්නේ අසන්නෙමැ යි යුහු වැ යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙක සිටියේ අසා නම් පචිති ඇවැත් වෙයි. පෙරටු වැ යන්නේ අසන්නෙමැ යි පසුබසිමින් එලිඑලී යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ අසා නම් පචිති ඇවැත් වෙයි. මහණක්හුගේ සිටි තැනට හෝ හුන් තැනට හෝ හොත් තැනට හෝ අවුත් මන්ත්‍රණය කරන්නහුට කෑරිය යුතු යැ දැන්විය යුතු යැ. ඉදින් නොකරන්නේ නම් නො දන්වන්නේ නම් හෝ පචිති ඇවැත් වේ.
ඒතදෙව පච්චයං කරිත්‍වා අනඤ්ඤං: බස් ඇසෙන තන්හි සිටින්නහට අන් කිසිදු කරුණෙක් නැත.
උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ බස් ඇසෙන තන්හි සිටී නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හුගේ බස් ඇසෙන තන්හි සිටී නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
මොවුන්ගේ බස් අසා මිදෙන්නෙමි වළකින්නෙමි සන්හිඳින්නෙමි තමා හාත්පසින් මිදෙන්නෙමැ යි යේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
අටවැනි උපස්සුති ශික්‍ෂාපද යි.
6. 8. 9.
කම්මපටිබාහන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු පනත් විකුම් කොට එකක් එකක්හට කර්‍ම කරනු ලබන කල්හි වළහත්. එසමයෙහි වනාහි කිසියම් කරුණෙකින් සඞ්ඝයා රැස්වූයේ වෙයි. සවග මහණහු සිවුරුකම් කරන්නෝ එකක්හට ඡන්‍දය දුන්හු. එකල්හි සඞ්ඝයා ඇවැත්නි, මේ සවග මහණ එකලා වැ පැමිණියේ යැ. එබැවින් ඇපි මොහුට කර්‍ම කරම්හ යි ඔහට කර්‍ම කෙළේ යැ. එකල්හි එ මහණ සවග මහණුන් වෙතැ එළැඹියේ යැ. සවග මහණහු එ මහණහට මෙය කීහු. ඇවැත්නි, සඞ්ඝයා කුමක් කෙළේ දැයි. ඇවැත්නි, සඞ්ඝයා මාහට කර්‍ම කෙළේ යැ යි. ඇවැත්නි, ඇපි තොපට කර්‍ම කරන්නේ යැ යි තෙල කරුණ සඳහා ඡන්‍දය නුදුම්හ. ඉදින් තොපට කර්‍ම කරන්නේ යැයි ඇපි දන්නමෝ නම් ඇපි ඡන්‍දය නො දෙම්හ යි.