6. 8. 7.
සඤ්විච්ච ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු සතළොස් වග මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවති. “ඇවැත්නි, භාග්‍යවතුන් විසින් උනුවිසිවස් ඇති පුඟුල් තෙමේ උපසපන් නො කැරැවිය යුතු යැ යි සිකපදයෙක් පනවන ලදී. තෙපි දු උනුවිසිවස් ඇතියව්හු උපසපන් වූවහු යැ. කිම, තෙපි අනුපසපන්හු”දැ යි. ඔහු හඬත්. භික්‍ෂූහු මෙසේ කීහු: “කුමකට ඇවැත්නි, තෙපි හඬවු”දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු අපට දැනැදැනැ කුකුස් උපදවතැ යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණුන්හට දැනැදැනැ කුකුස් ඉපැදවූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවවු දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් ඉපැදවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට ‘මෙයින් මොහුට ඇසිල්ලකුදු නො පහසුවෙක් වන්නේ’යැ යි දැන දැනැ අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට කුකුස් උපදවන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
භික්ඛුස්ස: අන් මහණක්හට,
සඤ්විච්ච: දන්නේ මැනැවින් දන්නේ සිතා මෙහෙයා විකුම් කිරීම යි.
කුක්කුච්චං උපදහෙය්‍ය: තෙපි උනුවිසිවස් ඇති වැ උපසපන් වූහු යි හඟිමි. තොප විකල්හි වළඳන ලදැ යි හඟිම්. තොප මත්පැන් බොන ලදැ යි හඟිම්. තොප නොරඹුරෙහි මාගමක හා හිනැ යි හඟිමැ යි කුකුස් උපදවා නම් පචිති ඇවැත් වේ.
ඒතදෙව පච්චයං කරිත්‍වා අනඤ්ඤං: කුකුස් උපදවන්නට අන් කිසිදු කරුණෙක් නැති.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ දැනැ දැනැ කුකුස් උපදවා නම් පචිති ඇවැත් වේ.
අනුපසපනක්හට දැනැ දැනැ කුකුස් උපදවා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
කුකුස් නො උපදවනු කැමැත්තේ “තෙපි උනු විසි වස් ඇති වැ උපසපන් වූහු යි හඟිම්, තොප විකල්හි වළඳන ලදැ යි හඟිම්, තොප මත් පැන් බොන ලදැ යි හඟිම්, තොප නොරඹුරෙහි මාගමක සමග හිනැ යි හඟිම්, එබැවින් දනුව, තොපට පසුවැ කුකුසෙක් නහමක් වේව යි බෙණේ නම් ඇවැත් නැත, උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
සත්වැනි සඤ්විච්ච ශික්‍ෂාපද යි.