6. 8. 6.
අමූලක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කරති.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණක් හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කොළෝ”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කරවු දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණක්හට අමූලක සඞ්ඝාදිශේෂයෙකින් චෝදනා කළහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට අමුල් සඟවෙසෙසකින් චෝදනා කරන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්ත්ථයෙහිලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුං: අන් මහණක්හු,
අමූලක නම්: නො දක්නා ලද්ද යැ නො අසන ලද්ද යැ සැක නො කරන ලද්ද යි.
සඞ්ඝාදිසේසෙන: තෙළෙස් සඟවෙසෙසුන් අතුරෙන් එක්තරයෙකින්,
අනුද්ධංසෙය්ය: චෝදනා කෙරේ නම් හෝ චෝදනා කරවා නම් හෝ පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ අමුල් සඟ වෙසෙසෙකින් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ අමුල් සඟවෙසෙසෙකින් චෝදනා කරයි නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ අමුල් සඟවෙසෙසෙකින් චෝදනා කෙරේ නම් පචිති ඇවැත් වේ.
ආචාරවිපත්තියෙකින් හෝ දෘෂ්ටිවිපත්තියෙකින් හෝ චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හට චෝදනා කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
එසේ සඟවෙසෙස් සන් ඇතියේ චෝදනා කෙරේ නම් හෝ චෝදනා කරවා නම් හෝ ඇවැත් නැත, උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
සවැනි අමූලකශික්ෂාපද යි.
6. 8. 7.
සඤ්විච්ච ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු සතළොස් වග මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවති. “ඇවැත්නි, භාග්යවතුන් විසින් උනුවිසිවස් ඇති පුඟුල් තෙමේ උපසපන් නො කැරැවිය යුතු යැ යි සිකපදයෙක් පනවන ලදී. තෙපි දු උනුවිසිවස් ඇතියව්හු උපසපන් වූවහු යැ. කිම, තෙපි අනුපසපන්හු”දැ යි. ඔහු හඬත්. භික්ෂූහු මෙසේ කීහු: “කුමකට ඇවැත්නි, තෙපි හඬවු”දැ යි. ඇවැත්නි, මේ සවග මහණහු අපට දැනැදැනැ කුකුස් උපදවතැ යි.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණුන්හට දැනැදැනැ කුකුස් ඉපැදවූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් උපදවවු දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි මහණුන්හට දැනැ දැනැ කුකුස් ඉපැදවූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට ‘මෙයින් මොහුට ඇසිල්ලකුදු නො පහසුවෙක් වන්නේ’යැ යි දැන දැනැ අනෙකක් නො වැ මෙය මැ කරුණු කොට කුකුස් උපදවන්නේ නම් පචිති වේ” යයි.