6. 8. 4.
පහාර ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙති. එසමයෙහි සවග මහණහු කිපියෝ නොසියමන් ඇත්තෝ සතළොස්වගැ මහණුන්හට පහර දෙති. ඔහු හඬත්, භික්ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ කිපී නොසියමන් වැ අපහට පහර දෙති යි.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස්වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු කිපියෝ නොසියමන් වූවෝ මහණුන්හට පහර දුන්නු” දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි කිපියාහු නොසියමන් වූවාහු මහණුන්හට පහර දෙවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි කිපියෝ නොසියමන් වූවෝ මහණුන්හට පහර දුන්නහු ද, හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් මහණක්හට කිපියේ නොසියමන් වූයේ පහර දෙන්නේ නම් පචිති වේ” යයි.
3. යො පන යනු යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
භික්ඛුස්ස යනු අන් මහණක්හට,
කුපිතෝ අනත්තමනෝ යනු නොසතුටු වූයේ ප්රතිඝයෙන් ගැටුණු සිත් ඇතියේ හටගත් පිළිඝුහුල් ඇතියේ,
පහාරං දදෙය්ය යනු කයින් හෝ කය පිළිබද්දෙන් හෝ නිසැගියෙන් හෝ යටත් පිරිසෙයින් උපුල් පතිනුදු පහර දේ නම් පචිති ඇවැත් වේ.
4. උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ කිපියේ නො සියමන් වූයේ පහර දේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ කිපියේ නොසියමන් වූයේ පහරදේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ කිපියේ නොසියමන් වූයේ පහර දේ නම් පචිති ඇවැත් වේ.
5. අනුපසපනක්හට කිපියේ නොසියමන් වූයේ පහර දේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපනුසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
6. කිසිවකු විසිනුදු වෙහෙසනු ලබන්නේ මිදෙනු කැමැති වැ පහර දේ නම් ඇවැත් නැත. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
සිවුවැනි පහාරශික්ෂාපද යි.
6. 8. 5.
තලසත්තික ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේ පිඬු සිටුහුගේ අරම්හි වැඩවෙසෙත්. එසමයෙහි වනාහි සවග මහණහු කිපියෝ නොසියමන්වූවෝ සතළොස්වගැ මහණුන්හට තලසැත් නඟා දක්වති. ඔහු පුරුදු පහර එතියි හඟනාහු හඬති. භික්ෂූහු මෙසේ කීහු: “ඇවැත්නි, තෙපි කුමකට හඬවු” දැ යි ඇවැත්නි, මේ සවග මහණෝ කිපියෝ නොසියමන්වූවෝ අපහට තලසැත් නඟා දක්වන්නාහ යි.