6. 8. 3.
මෝහන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ අනේපිඬු සිටුහුගේ ජේතවන අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු පනත් විකුම් කොට නො දැනීමෙන් අවන්හ යි දනිත්වා යි පාමොක් උදෙසනු ලබන කල්හි මෙසේ කියත්; “මේ ශික්‍ෂාපදධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණේ යි මෙ දැන් මැ ඇපි දනුම්හ”යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපදධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැ යි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කීහු”ද? ... සැබෑ ද මහණෙනි, තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපද ධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැයි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කියවු ද? සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මේ ශික්‍ෂාපද ධර්‍මය ද විනය ශික්‍ෂායෙහි ආයේ යැ විනය ශික්‍ෂායෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැ යි මෙ දැන් මැ ඇපි දනුම්හ යි මෙසේ කියන්නහු ද හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් අඩමසක් පාසා පාමොක් උදෙසනු ලබන කල්හි මෙසේ කියා නම්; “මෙ දහම ද විනයෙහි ආයේ විනයෙහි ඇතුළු වූයේ අඩ මසක් පාසා උදෙසීමට ඒ ලැ යි මම දැන් මැ දනිමි”යි ඉදින් ඒ මහණ “මේ මහණහු දෙතුන් වරක් පාමොක් උදෙසනු ලබන කල්හි හුන්විරූ”යයි අන් මහණහු දන්නාහු නම් ඒ මහණහට නො දැන්මෙන් මිදීමෙක් නැති, බොහෝ වුව කවර කථා යැ? එහි ලා යම් මැ ඇවැතකට අවනේ නම් ඒ ඇවතින් ධර්‍ම වූ පරිද්දෙන් කැරැවිය යුතු යැ. මත්තෙහි දු ඔහුට ඇවැත, යම් හෙයෙකින් තෙපි පාමොක් උදෙසනු ලබන කල්හි මොනවට වැඩ ඇති කොට මෙනෙහි නො කරවු ද (එහෙයින්) ඒ තොපට අලාභයහ. ඒ තොපට දුක් පිණිස ලද්දෙකැයි මෙසේ මෝහය ආරෝපණය කළ යුතු යැ, මෝහනය කරන ඔහු කෙරෙහි මේ පචිති වේ” යයි.
3. යො පන යනු: යම්, යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
අන්‍වද්ධමාසං යනු: පොහෝකිරීමක් (පාමොක් උදෙසීමක්) පාසා
පාතිමොක්ඛේ උද්දිස්සම නෙ යනු: උදෙසන කල්හි;
එවං වදෙය්‍ය යනු: පනත් විකුම් කොට නො දැනීමෙන් අවනැ යි දනිත්ව යි පාමොක් උදෙසන කල්හි “මේ ධර්‍මය ද විනයෙහි ආයේ යැ විනයෙහි ඇතුළත් යැ අඩමසක් පාසා උදෙසීමට පැමිණෙයැයි මෙ දැන් මැ මම දනිමි”යි මෙසේ කියා නම් දුකුළා ඇවැත් වේ.
4. තඤ්චෙ යනු: මුළා කරනු කැමැති මහණහු – දෙතුන් වරක් පාමොක් උදෙසනු ලබන කල්හි මේ මහණ හුන් විරූ යයි” අන් මහණහු දන්නාහු නම් ඒ මහණහට නො දැනීමෙන් මිදීමෙක් නැත, බොහෝ වරෙකැ වුව කවර කථා යැ. එහි ලා යම් ඇවතකට අවනේ නම් එද ධර්‍ම වූ පරිද්දෙන් කැරැවිය යුතු, මත්තෙහි දු ඔහට මෝහය ආරෝපණය කළ යුත්තේ යි. මහණෙනි මෙසේ ආරෝපණය කළ යුතු යැ, ව්‍යක්ත වූ ප්‍රතිබල වූ මහණහු විසින් සඞ්ඝ තෙමේ දැන්විය යුත්තේ යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා, මේ මෙනම් ඇති මහණ පාමොක් උදෙසනු ලබන කල්හි මොනවට අර්‍ත්‍ථවත් කොට මෙනෙහි නො කෙරෙයි. ඉදින් සඞ්ඝයාහට පැමිණි කල් ඇත්තේ නම් සඞ්ඝ තෙමේ මෙනම් මහණහට මෝහය ආරෝපණය කරන්නේ යැ තෙල ඥප්ති යි.
වහන්ස, සඞ්ඝ තෙමේ මවදන් අසාවා මේ මෙනම් ඇති මහණ පාමොක් උදෙසනු ලබන කල්හි මොනොවට අර්‍ත්‍ථවත් කොට මෙනෙහි නො කෙරෙයි. සඞ්ඝ තෙමේ මෙනම් මහණහට මෝහය ආරෝපණය කරයි. යම් ආයුෂ්මත්නමක්හට මෙනම් මහණහට මෝහය ආරෝපණය කිරීම රුස්නේ නම් හේ නිහඬ වන්නේ යැ, යමක්හට නො රුස්නේ නම් හේ කියන්නේ යැ.
සඞ්ඝයා විසින් මෙනම් ඇති මහණහට මෝහය ආරෝපණය කරන ලද්දේ යැ සංඝයාහට රුස්නේ යැ එහෙයින් නිහඬ යැ, තෙල මෙසේ දරමි යි.
මෝහය ආරෝපණය නො කළ කල්හි මුළා කෙරේ නම් දුකුළා ඇවැත් වෙයි. මෝහය ආරෝපණය කළ කල්හි මුළා කෙරේ නම් පචිති ඇවැත් වේ.