6. 8. 2.
විලේඛන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවරැ ජේතවන නම් වූ අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භාග්‍යවත්හු නොයෙක් අයුරින් විනයකථා කෙරෙති, විනයෙහි ගුණ පවසති, විනය වනපොත් කිරීමෙහි අනුසස් පවසති, පුනපුනා ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසත්. භික්‍ෂූහු “භාග්‍යවතුන් වහන්සේ නන් අයුරින් විනයකථාව කරන සේක, විනයෙහි ගුණ පවසන සේක, විනය වනපොත් කිරීමෙහි අනුසස් දෙසන සේක, පුනපුනා ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ ගුණ පවසන සේක, එබැවින් ඇවැත්නි, ඇපි ආයුෂ්මත් උපාලි තෙරුන්ගේ සමීපයෙහි විනය පිරිවහම්හ’ යි කීහු. ස්ථවිර නවක මධ්‍යම ඒ බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් සමීපයෙහි විනය පිරිවහති.
2. එකල්හි සවග මහණුන්හට තෙල සිත විය: මෙකල්හි ඇවැත්නි, ස්ථවිර නවක මධ්‍යම බොහෝ භික්‍ෂූහු ආයුෂ්මත් උපාලි තෙරුන් සමීපයෙහි විනය පිරිවහති. ඉදින් මොහු විනයෙහි දැනුමැතියෝ වන්නාහු නම් අප රිසිතෙනකට රිසිසේ රිසිතාක් අදනාහ, ඔබ මොබ අදනාහ. එබැවින් ඇවැත්නි, ඇපි විනය ගරහම්හ යි. එකල්හි සවග මහණහු මහණුන් වෙතැ එළැඹැ මෙසේ කියත්: “මේ කුඩා ඉතා කුඩා සිකපද උදෙසීමෙන් කවර වැඩෙක් ද? හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති යි.
3. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු විනය ගරහත් දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි විනය ගරහවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස. භාග්‍යවත් බුදුහු ගැරහූ” ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි විනය ගරහවු ද? හිස් පුරුෂයෙනි, තෙල අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“පාමොක් උදෙසනු ලබන කල්හි යම් මහණෙක් “මේ කුඩා අනුකුඩා සිකපද උදෙසීමෙන් කවර වැඩෙක් ද හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති” යි මෙසේ කියන්නේ නම් සිකපද ගැරහීමෙහි පචිති වේ” යි.
4. යො පන යනු: යම්බඳු ... භික්ඛු යනු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
පාතිමොක්ඛේ උද්දිස්සමානෙ යනු උදෙසන කල්හි හෝ උදෙසවන කල්හි හෝ හැදෑරීම කරන කල්හි හෝ,
එවං වදෙය්‍ය යනු උදෙසන ලද මේ කුඩා අනුකුඩා සිකපදවලින් කවර වැඩෙක් ද? හුදෙක් කුකුස් පිණිස වෙහෙස පිණිස සැක පිණිස වැටෙති. යම් කෙනෙක් මෙය පිරිවහත් නම් ඔවුනට කුකුස් වෙයි. වෙහෙස වෙයි. සැක වෙයි. යම් කෙනෙක් මෙය නො පිරිවහත් නම් ඔවුනට කුකුස් නො වෙයි. වෙහෙස නො වෙයි. සැක නො වෙයි. මෙය නො උදෙසන ලද නම් මැනැවැ. මෙය නො ඉගෙන ගනු ලද නම් මැනැවැ, මෙය නො පිරිවහන ලද නම් මැනැවැ, මෙය නො දරන ලද නම් මැනැවි. විනය හෝ අතුරුදන් වේවා. මේ භික්‍ෂූහු හෝ නො දනුමැතියෝ වෙත්ව යි උපසපනක්හට විනය ගරහා නම් පචිති ඇවැත් වේ.
5. උපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ විනය ගරහා නම් පචිති ඇවැත් වේ.
6. අන් දහමක් ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හට විනය හෝ අන් දහමක් හෝ ගරහා නම් දුකුළා ඇවැත් වේ.
7. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
8. නො ගරහනු කැමැත්තේ දැන් පළමු කොට සූත්‍රාන්තයන් හෝ ගාථා හෝ අභිධර්‍මය හෝ හදාරව පසු වැ විනය ද හදාරවයි බෙණේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
දෙවැනි විලේඛන ශික්‍ෂාපද යි.