6. 8. 11.
දබ්බ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාස නම් වේළුවන අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් දබ්බමල්ලපුත්‍ර සඞ්ඝයාහට සෙනසුනුදු පනවයි. බතුදු උදෙසයි. ඒ ආයුෂ්මත් තෙමේත් දුබල සිවුරු ඇතියේ වෙයි. එසමයෙහි වනාහි සඞ්ඝයාහට එක් සිවුරක් උපන්නේ වෙයි. එකල්හි සඞ්ඝයා ඒ සිවුර ආයුෂ්මත් දබ්බමල්ල පුත්‍රයහට දුන්නේ යැ. එකල්හි සවග මහණහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්: “භික්‍ෂූහු විශ්වස්ත පරිද්දෙන් සඞ්ඝික ලාභය පිරිනමති” යි.
2. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස්වූවාහු ... ඔහු ලමු කොට සිතති. නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු සමග්‍ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියෝ දැ” යි ... සැබෑ ද මහණෙනි, තෙපි සමග්‍ර සඞ්ඝයා හා එක්වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණෙවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූහ. ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි සමග්‍ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී පසු වැ ගරහන බවට පැමිණියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“යම් මහණෙක් සමග්‍ර සඞ්ඝයා හා එක් වැ සිවුරු දී භික්‍ෂූහු විශ්වස්තපරිද්දෙන් සඞ්ඝිකලාභය පිරිණමත් යයි පසු වැ ගරහන බවට පැමිණේ නම් පචිති වේ” යයි.
3. යො පන; යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
සමග්ග නම්: සමානසංවාසක වූ සමාන සීමායෙහි සිටි සඞ්ඝ තෙමේ යි.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා විකපුන් පොහෝනා පැසුළු සිවුරක්.
දත්‍වා: තෙමේ දී.
යථාසන්‍ථුත නමු: මිතුරුබව ඇති පරිදි දුටු මිතුරුබව ඇති පරිදි දැඩි මුතුරු බව ඇති පරිදි සමාන උපාධ්‍යාය බව ඇති පරිදි සමාන ඇදුරු බව ඇති පරිදි.
සඞ්ඝික නම්: සඟනට දෙන ලද්දක් පරිත්‍යක්තයෙක් වෙයි.
ලාභ නම්: චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර යැ, යටත් පිරිසෙයින් සුණු පිඬු ද දැහැටු ද දහවලුහුය ද.
පච්ඡා ඛීයනධම්මං ආපජ්ජෙය්‍ය; සඞ්ඝයා විසින් සම්මත වූ උපසපන් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳදැයක් බෙදා ලන්නකුහට හෝ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වේ.
දැහැමිකම්හි දැහැමිකම්සන් ඇතියේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි විමති ඇතියේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වෙයි. දැහැමිකම්හි නො දැහැමිකම්සන් ඇති යේ සිවුරක් දුන් කල්හි ගරහා නම් පචිති ඇවැත් වේ.
අන් පිරිකරක් දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වෙයි. සඞ්ඝයා විසින් සම්මත නො වූ උපසපන් වූ සෙනසුන් පනවන්නකුහට හෝ බත් උදෙසන්නකුහට හෝ හඹු බෙදන්නකුහට හෝ පලතුරු බෙදන්නකුහට හෝ කැවිලි බෙදන්නකුහට හෝ මඳ දැයක් බෙදාලන්නකුහට හෝ සිවුරක් හෝ අන් පිරිකරක් හෝ දුන් කල්හි ගරහා නම් දුකුළා ඇවැත් වේ.