6. 8. 12.
පරිණාමන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත් නුවර ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සැවැතැ එක්තරා මුළුවක් විසින් සඟනට සිවුරු සහිත බතෙක් පිළියෙළ කරන ලද්දේ වෙයි. වළඳවා සිවුරු පුදම්හ යි. එකල්හි සවග මහණහු ඒ මුළුව වෙතැ එළැඹියහ. එළැඹැ එ මුළුවට මෙය කීහු: ඇවැත්නි, මේ සිවුරු මේ මහණුන්හට දෙවයි. ස්වාමීනි, ඇපි නො දෙම්හ. අප විසින් අවුරුද්දක් පාසා සඟනට සිවුරු සහිත බතෙක් පනවන ලද්දේ වෙයි. ඇවැත්නි, සඟනට දායකයෝ බොහෝ යැ, සඟනට ලාභමුඛයෝ බොහෝ යැ, මොහු තොප නිසා තොප බලමින් මෙහි වෙසෙති. ඉදින් තෙපි මොවුනට නො දෙන්නහු නම් වැළි කවරෙක් මොවුනට දෙන්නේ ද? ඇවැත්නි, මේ සිවුරු මේ මහණුන්හට දෙවු. එකල්හි ඒ මුළුව සවග මහණුන් විසින් පෙළනු ලබන්නේ පිළියෙළ කළ තාක් සිවුරු සවග මහණුන්හට දී සඞ්ඝයා බතින් වැළැඳවී යැ. යම් ඒ භික්ෂු කෙනෙක් සඟනට සිවුරු සහිත බතෙක් පිළියෙළ කරන ලදැ යි දනිද්ද, සවග මහණුන්හට දෙන ලදැ යි නො ද දනිද්ද, ඔහු ඇවැත්නි, සඟනට සිවුරු පුදව යි මෙසේ කීහු. නැත ස්වාමීනි, සවග හිමිවරු පිළියෙළ කළ තාක් සිවුරු සවග හිමිවරුනට පිරිනැමවූහු යි.
2. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැදැනැ පුඟුලක්හට පිරිනැමූහු”දැ යි ... සැබෑ ද මහණෙනි, තෙපි පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැදැනැ පුඟුලක්හට පිරිනමවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි පිරිනමන ලද සඞ්ඟික ලාභය දැන දැනැ පුඟුලක්හට පිරිනැමුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
“යම් මහණෙක් පිරිනමන ලද සඞ්ඝික ලාභය දැනැ දැනැ පුඟුලක්හට පිරිනමන්නේ නම් පචිති වේ”යයි.
3. යො පන: යම්, යම්බඳු ... භික්ඛූ ... මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
ජානාති නම්: තෙමේ හෝ දනී. අන්හු හෝ ඔහුට ඇරොජත් – හෙතෙමේ හෝ ඇරොජයි.
සඞ්ඝික නම්: සඟනට දෙන ලද්දෙක් පරිත්යක්තයෙක් වෙයි.
ලාභ නම්: චීවර යැ පිණ්ඩපාත යැ ශයනාසන යැ ග්ලානප්රත්යය භෛෂජ්යපරිෂ්කාර යැ. යටත් පිරිසෙයින් සුණුපිඬු ද දැහැටු ද දහවලුහුය ද,
පරිණත නම්: දෙම්හ කරම්හ යි වාක් බිඳින ලද වෙයි. එය පුඟුලක්හට පිරිනමා නම් පචිති ඇවැත් වෙයි. පිරිනැමුණෙහි පිරිනැමුණු සන් ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් පචිති ඇවැත් වෙයි. පිරිනැමුණෙහි විමති ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. පිරිනැමුණෙහි නො පිරිනැමුණු සන් ඇතියේ පුඟුලක්හට පිරිනමා නම් ඇවැත් නැති.
සඟනට පිරිනැමුණක් අන් සඟනට හෝ සෑයට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. සෑයට පිරිනැමුණක් අන්සෑයකට හෝ සඟනට හෝ ගණයට හෝ පුඟුලක්හට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. පුඟුලක්හට පිරිනැමුණක් අන් පුඟුලක්හට හෝ සඟනට හෝ ගණයාට හෝ සෑයට හෝ පිරිනමා නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි පිරිනැමුණු සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො පිරිනැමුණෙහි නො පිරිනැමුණු සන් ඇතියේ නම් ඇවැත් නැති.