6. 6. 8.
දුබ්බණ්ණකරණ ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් වූ, අනේපිඬුසිටුහුගේ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි බොහෝ භික්ෂුහු ද පරිව්රාජකයෝ ද සාකේතයෙන් සැවැතට යන අදන්මගට පිළිපන්නාහු වෙති. අතරැ මඟැ සොරු නික්මැ ඔවුන් ඇසිඳගත්හ. රාජපුරුෂයෝ සැවැතින් නික්මැ ගොස් බඩු සහිත ඒ සොරුන් අල්වා ගෙන භික්ෂූන් වෙතැ දූතයකු යැවූහු: “පින්වතුන් වහන්සේ එත්වා, තමන් තමන් සතු සිවුරු හැඳිනැ ගනිත්වා,” යි. භික්ෂූහු නො හඳුනති. ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් වහන්දැ තමන් තමන් සතු සිවුරු නො හඳුනද්දැ”යි. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු. ඉක්බිති ඒ භික්ෂූහු භාග්යවතුන් වහන්සේහට තෙල කරුණ සැලකළාහු ය.
2. එකල්හි භාග්යවතුන් වහන්සේ තෙල කරුණෙහි ලා තෙල අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන්හට එයට සරිලන එයට අනුලොම් වන දැහැමි කථා කොට මහණුන් ඇමතූසේක. එහෙයින් මහණෙනි, කරුණු දසයක් පිණිස මහණුන්හට සිකපද පනවන්නෙමි. (එනම්) සඞ්ඝයාගේ මනා පිළිගැනුම පිණිස සඞ්ඝයාගේ පහසුබව පිණිස ... සසුන් පැවැත්ම පිණිස විනයට රුකුල් දීම පිණිස යි. මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
“අලුත් සිවුරක් ලත් මහණහු විසින් නිල් හෝ මඩ හෝ කළු හෝ යන තෙවැදෑරුම් දුර්වර්ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්ණ කිරීමෙක් ගත යුත්තේ යි. ඉදින් මහණ තෙවැදෑරුම් දුර්වර්ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්ණ කිරීමක් නොගෙන අළුත් සිවුරක් පරිභෝග කෙරේ නම් පචිති වේ” යි.
3. නව නම්: කප්බිඳු නො තැබූ සිවුර කියනු ලැබෙයි.
චීවර නම්: සවැදෑරුම් සිවුරු අතුරෙන් එක්තරා සිවුරෙකි.
තිණ්ණං දුබ්බණ්ණකරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං ආදාතබ්බං; යටත් පිරිසෙයින් කුසතණගිනුදු (කප්බිඳු) තැබීම කළ යුතු.
නීල නම්: කංසනීල (යමල) යැ පලාසනීල (කොළපැහැ) යැයි දෙනිලෙකි.
කද්දම නම්: දියමඩැ යි කියනු ලැබෙයි.
කාළසාම නම්: යම් කිසි කළු පැහැයක්:
අනාදා චෙ භික්ඛූ දුබ්බණ්ණ කරණානං අඤ්ඤතරං දුබ්බණ්ණකරණං යනු යටත් පිරිසෙයින් කුසතණගිනුදු තෙ වැදෑරුම් දුර්වර්ණ කිරීම් අතුරෙන් එක්තරා දුර්වර්ණ කිරීමක් නො කොට අලුත් සිවුරක් පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ.
කප් බිඳු නො දුන් කල්හි නුදුන් සන් ඇතිවැ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. කප්බිඳු නුදුන් කල්හි විමති ඇතිවැ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වෙයි. කප් බිඳු නො දුන් කල්හි දුන් සන් ඇතිවැ පරිභෝග කෙරේ නම් පචිති ඇවැත් වේ. කප්බිඳු දුන් කල්හි නො දුන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කප්බිඳු දුන් කල්හි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. කප් බිඳු දුන් කල්හි දුන් සන් ඇතියේ නම් ඇවැත් නැති.
කප්බිඳු ගෙන පරිභෝග කෙරේ නම්, කප් බිඳු නැසුණේ වී නම්, කප් බිඳු කළ තැන දිරා ගියේ වී නම්, කප් බිඳු තබන ලද්ද හා කප් බිඳු නො තබන ලද්දක් හිවන ලදුයේ වී නම් ඇවැත් නො වේ. මැඩිල්ලෙහි දිගනුවායෙහි සරසනුවායෙහි උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
අටවැනි දුබ්බණ්ණකරණ ශික්ෂාපද යි.