සුරාපාන වර්ගය
6. 6. 1.
සුරාපාන ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු චේතිය දනවුහි සැරි සරනුවෝ භද්දවතිකා නම් ග්රාමයට වැඩවදාළෝ. ගවපාලකයෝ පශුපාලකයෝ කර්ෂකයෝ මාර්ගිකයෝ වඩනා භාග්යවතුන් දුරැ දී ම දුටුහ. දැක භාග්යවතුන්හට තෙල කීහු. “වහන්ස, භාග්යවතුන් වහන්සේ අම්බතීර්ත්ථයට නහමක් වඩනා සේක්වා. වහන්ස! අම්බතීර්ත්ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්යවතුන් නහමක් වෙහෙසාව” යි. මෙසේ කී කල්හි බුදුහු නිහඬ වූහු. දෙවනවටදු ... තෙවනවටදු ගවපාලකයෝ පශුපාලකයෝ කර්ෂකයෝ මාර්ගිකයෝ භාග්යවතුන්හට මෙය කීහු. “වහන්ස, භාග්යවතුන් වහන්සේ අම්බතීර්ත්ථයට නහමක් වඩනා සේක්වා, වහන්ස, අම්බතීර්ත්ථයෙහි ජටිලයාගේ අසපුවෙහි ඍද්ධිමත් වූ ආශීවිෂ ඇති ඝොරවිෂ ඇති නාගයෙක් වෙසෙයි. හේ භාග්යවතුන් නහමක් වෙහෙසාව” යි. තෙවනවටදු බුදුහු නිහඬ වූහු.
2. ඉක්බිති භාග්යවත් බුදුහු පිළිවෙළින් සැරි සරනුවෝ භද්දවතිකා නම් ග්රාමයට වැඩමකළහ. බුදුහු ඒ භද්දවතිකායෙහි වැඩැවෙසෙති. එකල්හි ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ අම්බතීර්ත්ථයෙහි ජටිලයාගේ අසපුවට එළැඹියේ යැ. එළැඹැ ගිනිහල්ගෙට පිවිස තණ ඇතිරියක් පනවා පලඟ බැඳ උඩුකය ඉදීව තබා කමටහනට අබිමුව කොට සිහි එළවා හුන්නේ යි. එකල්හි ඒ නාගයා පිවිසි ආයුෂ්මත් සාගත තෙරුන් දැක දුකට පැමිණියේ නො සතුටු වූයේ දුමාලී යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් දුමාලී යැ. එකල්හි ඒ නාගයා ක්රෝධය නො ඉවසන්නේ දිලිහී ගියේ යැ. ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේත් තේජෝධාතුවට සමවැද දිලිහී ගියේ යි. ඉක්බිති ආයුෂ්මත් සාගත ස්ථවිර තෙමේ ඒ නාගයාගේ තෙද (තමාගේ) තෙදින් මැඩැගෙන භද්දවතිකා ග්රාමයට එළැඹියේ යි. ඉක්බිති භාග්යවත් බුදුහු භද්දවතිකායෙහි කැමැතිතාක් විහරණය කොට කොසඹෑනුවර බලා සැරි සැරූහු කොසඹෑනුවරැ වූ උවසුවෝ “ආර්ය්ය සාගතස්ථවිර තෙමේ අඹතොටැ නාගයා හා සමඟ යුද කෙළේ යැ” යි ඇසූහු.
3. ඉක්බිති බුදුහු පිළිවෙළින් සැරි සරනුවෝ කොසඹෑ නුවරට වැඩම කළහ. එකල්හි කොසඹෑ නුවර උවසුවෝ භාග්යවතුන්හට පෙරැගමන් කොට ආයුෂ්මත් සාගත තෙරුන් වෙත එළැඹියහ. එළැඹැ ආයුෂ්මත් සාගත තෙරුන් සකසා වැඳ එකත්පසෙකැ සිටියහ. එකත්පසෙකැ සිටියා වූ කොසඹෑනුවර උවසුවෝ ආයුෂ්මත් සාගත තෙරුන්ට තෙල කීහු: “වහන්ස, ආර්ය්යයන්හට කිමෙක් දුර්ලභත් වේ ද? මනවඩන්නේත් වේ ද? කුමක් පිළියෙළ කරමෝ” දැ යි. මෙසේ කී කල්හි සවග මහණහු කොසඹෑ නුවර උවසුවනට තෙල කීහු: “ඇවැත්නි, මහණුන්හට දුර්ලභ වූත් මනවඩන්නා වූත් කාපෝතිකා නම් සුරාමණ්ඩයෙක් ඇති, එය පිළියෙළ කරව”යි. එකල්හි කොසඹෑනුවර උවසුවෝ ගෙයක් පාසා කාපෝතිකා සුරා මණ්ඩය පිළියෙළ කොට ආයුෂ්මත් සාගත තෙරුන් පිඬු පිණිස හැසිරෙන්නවුන් දැක ආයුෂ්මත් සාගත තෙරුන්ට මෙය කීහු: “වහන්ස, ආර්ය්ය සාගත තෙමේ කාපොතිකාසුරාමණ්ඩය පානය කෙරේවා” වහන්ස, සාගත ආර්ය්යයන් වහන්සේ කාපොතිකාසුරාමණ්ඩය පානය කෙරෙත්වා” යි. එකල්හි ආයුෂ්මත් සාගත තෙමේ ගෙයක් පාසා කාපොතිකාසුරාමණ්ඩය පානය කොට නුවරින් නික්මෙනුයේ නුවර දොරැ වැටුණේ යි.
4. ඉක්බිති භාග්යවත් බුදුහු බොහෝ භික්ෂූන් සමග නුවරින් නික්මෙනුවෝ නුවරදොරැ වැටුණු ආයුෂ්මත් සාගත තෙරුන් දුටුහ. දැකැ වදාරා “මහණෙනි, සාගතයා ගනුව” යි මහණුන් ඇමැතූහ. එසේ යැ වහන්සැ යි ඒ භික්ෂූහු භාග්යවතුන්හට පිළිවදන් දී ආයුෂ්මත් සාගත තෙරුන් ආරාමයට ගෙන ගොස් භාග්යවතුන් දෙසට හිස කොට හොවා තැබූහු. එකල්හි ආයුෂ්මත් සාගත පෙරැළී භාග්යවතුන් දිසාවට පාදිගු කොට ශයනය කෙළේ යැ. එකල්හි බුදුහු මහණුන් ඇමැතූහ: “මහණෙනි, සාගත මහණ තථාගතයන් කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ නො වේ” දැ යි.
එසේ යැ වහන්ස,
මහණෙනි, සාගත මහණ දැන් වූ කලි තථාගතයන් කෙරෙහි ගරු සහිත වූයේ බුහුමන් සහිත වූයේ වේ දැ යි.
තෙල කරුණ නො වේ මැ යි වහන්ස,
මහණෙනි, සාගත මහණ අම්බතීර්ත්ථයෙහි වැසි නාගයා සමඟ යුද කෙළේ නො වේ දැ යි.
එසේ යැ වහන්ස,