6. 6. 7.
නහාන ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු රජගහ නුවරැ කලන්‍දකනිවාප නම් වූ වේළුවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි භික්‍ෂූහු තපෝදයෙහි ස්නාන කෙරෙත්. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජතෙමේ හිස සෝධා නහන්නෙමැ යි තපෝදයට ගොස් ආර්‍ය්‍යයන් සනහා නිමාවන තෙක් එකත් පසෙකැ සාපේක්‍ෂක වැ සිටියේ ය. භික්‍ෂූහු අඳුරු වැටෙන තුරු ස්නානය කළහ. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජ විකල්හි හිස් සෝධා නහා නුවරැ දොර වැසූ කල්හි බිහිනුවරැ වැසැ උදෑසන මැ නො මැකිවිලෙවුනෙන් යුතු වැ භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළඹියේ යි. එළඹැ බුදුන් වැඳ එකත් පසෙකැ හුන්නේ යැ. භාග්‍යවතුන් වහන්සේ එකත් පසෙකැ හුන් මගධේශ්වර ශ්‍රේණිය බිම්බිසාර රජහට තෙල වදාළ සේක: “මහරජ, තෙපි උදෑසන මැ නොමැකි විලෙවුනෙන් යුතු වැ කුමකට අවු” දැ යි. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකෙළේ යැ.
2. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජහු දැහැමි කථායෙන් මොනවට කරුණු දැක්වූ සේක. මොනවට කරුණු ගැන්වූ සේක. මොනවට තෙද ගැන්වූ සේක. මොනවට සතුටු කරවූ සේකි. එකල්හි මගධේශ්වර වූ ශ්‍රේණිය බිම්බිසාර රජ තෙමේ භාග්‍යවතුන් වහන්සේ විසින් දැහැමි කථායෙන් මොනවට කරුණු දක්වන ලදුයේ මොනවට කරුණු ගන්වන ලදුයේ මොනවට තෙද ගන්වන ලදුයේ මොනවට සතුටු කරවන ලදුයේ හුනස්නෙන් නැගැ භාග්‍යවතුන් වහන්සේ සකසා වැඳ පැදකුණු කොට නික්ම ගියේ යි. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ කරුණෙහි ලා මේ අවසරයෙහි ලා බික්සඟන රැස් කරවා මහණුන් පුළුවුත්සේක. සැබෑ ද මහණෙනි, භික්‍ෂූහු රජහු දු දැක පමණ නො දැනැ සනහද්දැ යි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි, ඒ හිස් පුරුෂයෝ රජහුදු දැක පමණ නො දැනැ සනැහූ ද? මහණෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් නෑ දින පටන් අඩමසක් නො පිරුණු සඳ සනහා නම් පචිති වේ ය යි.
මෙසේ භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි භික්‍ෂූහු උෂ්ණසමයෙහි පරිදාහසමයෙහි කුකුස් කරන්නාහු නො සනහත්. ඩහවැකුණු සිරුරෙන් යුතු වැ හොවිත්. සිවුර ද සෙනසුන ද කිලිටි වෙයි. භාග්‍යවතුන්හට තෙල කරුණ සැලකළහ. ... “මහණෙනි, උෂ්ණසමයෙහි පරිදාහසමයෙහි අඩමසෙකින් මෙපිට නහන්නට අනුදනිමි” මහණෙනි, මෙසේත් මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් සුදුසුසමය තබා අඩමසෙකින් මොබ නහන්නේ නම් පචිති වේ. එහි මේ සුදුසු සමය යි: ග්‍රීෂ්ම මාසයන් අතුරින් ඉතිරිවැ සිටි යෙළමස යැ. වස්සාන ඍතුව පිළිබඳ පළමු මස යැ යි මෙසේ මේ අඩුතුන් මසෙකි, උෂ්ණසමය යැ පරිදාහ සමය යි. මේ එහි සුදුසු සමය යි.
මෙසේත් භාග්‍යවතුන් විසින් භික්‍ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.