6. 6. 6.
ජෝති ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු භග්ග ජනවියෙහි සුංසුමාරගිරි නම් නුවරැ මිගදාය නම් වූ භේසකලාවනයෙහි වැඩැවෙසෙති. එසමයෙහි භික්ෂූහු හිමත්කල්හි එක්තරා මහත් බෙණය සහිත දරකඩකට ගිනි දල්වා තැපූහු. ඒ බෙණෙහි දු කළුනයෙක් ගින්නෙන් තැවුණේ නික්මැ මහණුන් ලුහුබැඳී යැ. භික්ෂූහු තන්හි තන්හි දිවූහු. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් භික්ෂූහු ගිනි දල්වා තැපූහු” දැ යි ... සැබෑද මහණෙනි, භික්ෂූහු ගිනි දල්වා තපිත් දැ යි, සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් මහණෙනි ඒ හිස් පුරුෂයෝ ගිනි දල්වා තැපූහු ද, මහණෙනි, මෙය අප්රසන්නගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
යම් මහණෙක් තපිනු කැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
2. එසමයෙහි භික්ෂූහු ගිලන්වූවාහු වෙති. ගිලනුන් පුළුවුස්නා මහණහු ගිලන් මහණුන්ට මෙය කීහු: “කිම ඇවැත්නි, සිහිය හැකි ද? කිම යැපිය හැකි” දැ යි ඇවැත්නි, පෙරැ ඇපි ගිනි දල්වා තපිමු. එයින් අපට පහසු වෙයි. දැන් වූ කලි භාග්යවතුන් වහන්සේ විසින් ප්රතික්ෂිප්ත යැ යි කුකුස් කරන්නමෝ නො තපිම්හ, එයින් අපට පහසු නො වෙයි. භාග්යවතුන්හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, ගිලන් මහණහු විසින් ගිනි දල්වා හෝ දල්වවා හෝ තපින්නට අනුදනිමි.”
මෙසේ ද මහණෙනි, මේ සිකපද උදෙසවු:
යම් මහණෙක් නො ගිලන් වැ තප්නාකැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
මෙසේත් භාග්යවතුන් වහන්සේ විසින් භික්ෂූන්හට මේ සිකපදය පනවන ලද්දේ වෙයි.
3. එසමයෙහි භික්ෂූහු පහන් දැල්වීමෙහි දු ගිනිදැල්වීමෙහි දු ගිනිහල් ගෙහි දු කුකුස් කෙරෙත්. භාග්යවතුන්හට තෙල කරුණ දැන්වූහ ... “මහණෙනි, එබඳු කරුණක් ඇති කල්හි ගිනි දල්වන්නට අනුදනිමි.” තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
යම් මහණෙක් නො ගිලන් වැ එබඳු කරුණක් තබා තප්නා කැමැත්තේ ගිනි දල්වා නම් හෝ දල්වවා නම් හෝ පචිති වේ ය යි.
4. යො පන: යම්, යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්ත්ථයෙහි ලා අදහස් කරන ලද භික්ෂු යි.
අගිලාන නම්: යමක්හට ගින්නෙන් තොර වැ පහසු වේ නම් හේ යැ.
ගිලාන නම්: යමක්හට ගින්නෙන් තොර වැ පහසු නො වේ නම් හේ යැ.
විසිබ්බනාපේඛෝ: තපිනු කැමැත්තේ,
ජෝති නම්: ගිනි යැ යි කියනු ලැබේ.
සමාදහෙය්ය: තෙමේ දල්වා නම් පචිති ඇවැත් වේ.
සමාදහාපෙය්ය: අනෙකක්හු අණවා නම් පචිති ඇවැත් වේ. වරක් අණවන ලදුයේ බොහෝ වරකුදු දල්වා නම් පචිති ඇවැත් වේ.
අඤ්ඤත්ර තථාරූපප්පච්චයා; එබඳු කරුණක් තබා.