6. 6. 4.
අනාදරිය ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්නස්ථවිර තෙමේ පනත් විකුම් කෙරෙයි භික්ෂූහු මෙසේ කීහු: “ඇවැත් ඡන්නයෙනි, මෙබන්දක් නහමක් කරන්නැ, තෙල නො කැප යැ” යි. හෙ අනදර බව පිණිස කෙරේ මැ යි. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ අනදරබව කෙළේ දැ” යි ... සැබෑද ඡන්න, තෙපි අනදර බව කරවු දැ යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි අනදර බව කළහු ද? හිස් පුරුෂය, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
අනදරබව කිරීමෙහි පචිති වේ යයි.
2. අනාදරිය නම්: අනාදරිය දෙකෙකි: පුද්ගලානාදරිය ද ධර්මානාදරිය දැ යි.
පුද්ගලානාදරිය නම්: “උපසපනක්හු, විසින් පනවන ලද සිකපදයෙකින් කියනු ලබන්නේ “මෙතෙම උක්ඛිත්තයෙකැ යි හෝ අවමන් ලද්දෙකැ යි හෝ ගැරහුම් ලද්දෙකැ යි හෝ වෙයි. මොහුගේ වචනය නො කළයුතු වන්නේ” ය යි අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
ධර්මානාදරිය නම්: උපසපනක්හු, විසින් පනවන ලද සිකපදයෙකින් කියනු ලබන්නේ “මේ ධර්මය කෙසේ නැසෙන්නේ හෝ වැනසෙන්නේ හෝ අතුරුදන් වන්නේ හෝ වේ” දැ යි ඒ පනවන ලදුයෙහි නො හික්මෙනු කැමැත්තේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු කෙරෙහි උපසපන් සන් ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි විමති ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වෙයි. උපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ අනදරබව කෙරේ නම් පචිති ඇවැත් වේ.
උපසපනක්හු විසින් නො පනවන ලද්දෙකින් (සූත්රයෙහි හෝ අභිධර්මයෙහි හෝ ආයෙකින්) කියනු ලබන්නේ “මෙය සලේපැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරැඹුමට නො පවතී” ය යි අනදරබව කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු විසින් පනවන ලද්දෙකින් හෝ නොපනවන ලද්දෙකින් හෝ කියනු ලබන්නේ “මෙය සලේපැවැත්මට කෙලෙස් කැපීමට පැහැදුම් එළවීමට නිවනට වැර ඇරඹුමට නො පවතී” ය යි අනදරබව කෙරේ නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන් සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
අපගේ ගුරුවරුන්ගේ උගැන්ම අර්ත්ථකථනය මෙසේ යැ යි බෙණේ නම් ඇවැත් නො වේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
සිව්වැනි අනාදරිය ශික්ෂාපද යි.