6. 6. 3.
හස්සධම්ම ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස් වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළිති. එසමයෙහි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමඟ මතුමහලට ගියේ වෙයි. පසේනදි කොසොල් රජ අචිරවතී නදියෙහි දිය කෙළින සතළොස් වග මහණුන් දුටුවේ ය. දැකැ මල්ලිකා දේවියට තෙල කී යැ: “මල්ලිකාවෙනි, තොපගේ තෙලෙ රහත්හු ජලක්‍රීඩා කෙරෙති යි. මහරජ, නිසැකයෙන් මැ භාග්‍යවතුන් වහන්සේ විසින් සිකපද නො පනවන ලද්දේ වන. ඒ භික්‍ෂූහු ද සිකපද පනවන ලද බව නො දන්නෝ හෝ වෙතැ යි.
2. ඉක්බිති පසේනදි කොසොල් රජහට තෙල සිත විය. “මම් මේ මහණුන් දිය කෙළියෙහි යෙදුණු බව භාග්‍යවතුන් වහන්සේට නො දන්වන්නෙම් කවර නම් උපායෙකින් උන්වහන්සේත් මෙය දැනගන්නා සේක්” දැ යි. එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ සතළොස් වග මහණුන් කැඳවා “වහන්ස, මේ ගුළපිඬ භාග්‍යවතුන් වහන්සේට දෙනු මැනැවැ” යි ඔවුනට මහත් ගුළපිඬක් දුන්නේ යි. සතළොස්වග මහණහු ඒ ගුළපිඬ රැගෙන භාග්‍යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්‍යවතුන් වහන්සේට තෙල කීහු. “වහන්ස, මේ ගුළපිඬ පසේනදි කොසොල් රජ භාග්‍යවතුන් වහන්සේට දේ” යැ යි. මහණෙනි, රජ තෙමේ තොප කොහි දී දිටී දැ යි. භාග්‍යවතුන් වහන්ස: අචිරවතී නදියෙහි දිය කෙළනා කල්හි යැ. භාග්‍යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දිය කෙළියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
දියෙහි කෙළෙනා සැහැවියෙහි පචිති වේ ය යි.
3. උදකෙ හස්සධම්ම නම්: ගොප් ඇටයෙන් මතු දියෙහි කෙළනා රිසි ඇති වැ ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ පචිති ඇවැත් වේ.
දිය කෙළනා සැහැවියෙහි කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි විමති ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි නො කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි.
ගොප්ඇටයෙන් යටැ දියෙහි කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නැවෙකැ කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි. අතින් හෝ පයින් හෝ කැටින් හෝ කැබිලිත්තෙන් හෝ දියට පහරදෙන්නේ නම් දුකුළා ඇවැත් වෙයි. බඳුනෙහි වූ දිය හෝ කැඳ හෝ කිරි හෝ මෝරු හෝ රඳන් හෝ මූ හෝ මඩ හෝ කෙළනේ නම් දුකුළා ඇවැත් වෙයි.
දියෙහි නො කෙළනා සැහැවියෙහි කෙළනා සැහැවිසන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නො කෙළනා සැහැවියෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. දියෙහි නො කෙළනා සැහැවියෙහි නො කෙළනා සැහැවිසන් ඇතියේ නම් ඇවැත් නැති.
නො කෙළනා රිසි ඇතියේ නම්, කරණී ඇති කල්හි දියට බැස ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ, පරතෙරට යමින් ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ, ආපදාවෙහි ඇවැත් නොවේ. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
තෙවැනි හස්සධම්ම ශික්‍ෂාපද යි.
6. 6. 4.
අනාදරිය ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු කොසඹෑ නුවර ඝෝෂිතාරාමයෙහි වැඩැවෙසෙති. එසමයෙහි වනාහි ආයුෂ්මත් ඡන්නස්ථවිර තෙමේ පනත් විකුම් කෙරෙයි භික්‍ෂූහු මෙසේ කීහු: “ඇවැත් ඡන්නයෙනි, මෙබන්දක් නහමක් කරන්නැ, තෙල නො කැප යැ” යි. හෙ අනදර බව පිණිස කෙරේ මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරවත්: “කෙසේ නම් ආයුෂ්මත් ඡන්න ස්ථවිර තෙමේ අනදරබව කෙළේ දැ” යි ... සැබෑද ඡන්න, තෙපි අනදර බව කරවු දැ යි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරැහූ ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි අනදර බව කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ මහණෙනි, මේ සිකපදය උදෙසවු:
අනදරබව කිරීමෙහි පචිති වේ යයි.