6. 6. 2.
අඞ්ගුලිපතෝදක ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬුසිටුහුගේ ජේතවන නම් වූ අරම්හි වැඩැවෙසෙති. එසමයෙහි සවග මහණහු සතළොස්වගැ මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූහ. ඒ මහණ මහ සිනායෙන් මිරිකුණේ හුස්ම හිර වූයේ කලුරිය කෙළේ යැ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්: “කෙසේ නම් සවග මහණහු මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූහු” දැ යි ... සැබෑද මහණෙනි, තෙපි මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගන්වවු දැ”යි. සැබැවැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු ගැරහූහ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි තෙපි මහණක්හු ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනා ගැන්වූවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි. ... තවද මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
ඇඟිල්ලෙන් ගිරිති කැවීම නිමිතිකොට පචිති වේ යයි.
2. අඞ්ගුලිපතෝදක නම්: උපසපනෙක් උපසපනක්හු කෙළිරිසි ඇති වැ කයින් කය පහසා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි විමති ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වෙයි. උපසපන්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ ඇඟිල්ලෙන් ගිරිති කැවීමෙන් සිනහ දනවා නම් පචිති ඇවැත් වේ.
කයින් කයපිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළි බද්දෙන් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. කය පිළිබද්දෙන් කය පිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. නිසැගියෙන් කය පිළිබැදියක් පහසා නම් දුකුළා ඇවැත්වෙයි. නිසැගියෙන් නිසැගියක් පහසා නම් දුකුළා ඇවැත් වේ.
අනුපසපනක්හු කයින් කය පහසා නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි උපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. අනුපසපනක්හු කෙරෙහි අනුපසපන්සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වේ.
කෙළනා රිසි නැතියේ නම්, කරණී ඇති කල්හි පහසා නම්, ඇවැත් නැති. උම්මත්තකහට ආදිකම්මිකහට ඇවැත් නැති.
දෙවැනි අඞ්ගුලිපතෝදක ශික්ෂාපද යි.
6. 6. 3.
හස්සධම්ම ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැත්නුවර අනේපිඬු සිටුහුගේ දෙව්රම් වෙහෙරැ වැඩැවෙසෙති. එසමයෙහි වනාහි සතළොස් වග මහණහු අචිරවතී නදියෙහි දිය කෙළිති. එසමයෙහි පසේනදි කොසොල් රජ මල්ලිකා දේවිය සමඟ මතුමහලට ගියේ වෙයි. පසේනදි කොසොල් රජ අචිරවතී නදියෙහි දිය කෙළින සතළොස් වග මහණුන් දුටුවේ ය. දැකැ මල්ලිකා දේවියට තෙල කී යැ: “මල්ලිකාවෙනි, තොපගේ තෙලෙ රහත්හු ජලක්රීඩා කෙරෙති යි. මහරජ, නිසැකයෙන් මැ භාග්යවතුන් වහන්සේ විසින් සිකපද නො පනවන ලද්දේ වන. ඒ භික්ෂූහු ද සිකපද පනවන ලද බව නො දන්නෝ හෝ වෙතැ යි.
2. ඉක්බිති පසේනදි කොසොල් රජහට තෙල සිත විය. “මම් මේ මහණුන් දිය කෙළියෙහි යෙදුණු බව භාග්යවතුන් වහන්සේට නො දන්වන්නෙම් කවර නම් උපායෙකින් උන්වහන්සේත් මෙය දැනගන්නා සේක්” දැ යි. එකල්හි පසේනදි කොසොල් රජ තෙමේ සතළොස් වග මහණුන් කැඳවා “වහන්ස, මේ ගුළපිඬ භාග්යවතුන් වහන්සේට දෙනු මැනැවැ” යි ඔවුනට මහත් ගුළපිඬක් දුන්නේ යි. සතළොස්වග මහණහු ඒ ගුළපිඬ රැගෙන භාග්යවතුන් වහන්සේ වෙතැ එළැඹියහ. එළැඹ භාග්යවතුන් වහන්සේට තෙල කීහු. “වහන්ස, මේ ගුළපිඬ පසේනදි කොසොල් රජ භාග්යවතුන් වහන්සේට දේ” යැ යි. මහණෙනි, රජ තෙමේ තොප කොහි දී දිටී දැ යි. භාග්යවතුන් වහන්ස: අචිරවතී නදියෙහි දිය කෙළනා කල්හි යැ. භාග්යවත් බුදුහු ගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි දිය කෙළියහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නො වෙයි ... මහණෙනි, මේ සිකපදය මෙසේ උදෙසවු:
දියෙහි කෙළෙනා සැහැවියෙහි පචිති වේ ය යි.
3. උදකෙ හස්සධම්ම නම්: ගොප් ඇටයෙන් මතු දියෙහි කෙළනා රිසි ඇති වැ ගැලේ නම් හෝ නැඟේ නම් හෝ පිහිනා නම් හෝ පචිති ඇවැත් වේ.
දිය කෙළනා සැහැවියෙහි කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි විමති ඇතියේ නම් පචිති ඇවැත් වෙයි. දිය කෙළනා සැහැවියෙහි නො කෙළනා සැහැවි සන් ඇතියේ නම් පචිති ඇවැත් වෙයි.