6. 5. 9.
සේනාවාස ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණහු කරණී ඇති කල්හි සෙනාවට ගොස් අයිරා තුන් රැයක් සේනායෙහි වසති. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති. දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්රමණ ශාක්ය පුත්රයෝ සේනායෙහි වුසූහු ද? යම්බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් සේනායෙහි වසමු නම් එබඳු අපට ද අලාභයෙකැ, එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි.
2. භික්ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් ඒ භික්ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණහු අයිරා තුන් රැයක් සේනායෙහි වුසූහු” දැයි ... සැබෑ ද මහණෙනි තෙපි අයිරා තුන් රැයක් සේනායෙහි වසවු දැ යි. සැබෑ වැ භාග්යවතුන් වහන්ස, භාග්යවත් බුදුහු විගැරහු ... කෙසේ නම් හිස් පුරුෂයෙනි, තෙපි අයිරා තුන් රැයක් සේනායෙහි වුසුවහු ද? හිස් පුරුෂයෙනි, මෙය අප්රසන්නයන්ගේ ප්රසාදය පිණිස හෝ නොවෙයි ... මෙසේ ද මහණෙනි! මේ සිකපදය උදෙසවු:
යම් ඒ මහණක්හට සෙනාවට යාම පිණිස කිසියම් කරුණක් වන්නේ නම් ඒ මහණහු විසින් දෙතුන් රැයක් සේනායෙහි විසිය යුතුයි. ඉදින් ඉන් මත්තෙහි වෙසේ නම් පචිති වේ යැයි.
3. සියා ච තස්ස භික්ඛුනෝ කෝචිදේව පච්චයො සේනං ගමනාය: කරුණෙක් වන්නේ යැ කළයුත්තෙක් වන්නේ යි.
දිරත්තතිරත්තං තෙන භික්ඛුනා සේනාය වාසිතබ්බං; දෙතුන් රැයෙක් විසිය යුතු යි.
තතො චෙ උත්තරිං වසෙය්ය: සතරවන දිනයෙහි හිරු අත්ගල් ගිය කලැ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. වැඩි තුන් රැයෙහි අයිරා සන් ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. අයිරා තුන් රැයෙහි විමති ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වෙයි. වැඩි තුන් රැයෙහි අඩුය යන සංඥා ඇතියේ සේනායෙහි වෙසේ නම් පචිති ඇවැත් වේ.
4. උනුතුන්රැයෙහි අයිරා සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උනුතුන්රැයෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. උනුතුන්රැයෙහි උනුසන් ඇතියේ නම් ඇවැත් නැති.
5. දෙතුන් රැයක් වෙසේ නම්, උනු දෙතුන්රැයක් වෙසේ නම්, දෙරැයක් වැස තෙවන රැය අරුණට පළමු නික්මැ යළි වෙසේ නම්, ගිලන් වැ වෙසේ නම්, ගිලනක්හුගේ කළයුත්තෙකින් වෙසේ නම්, සේනාව විසින් ප්රතිවිරුද්ධ සේනාව වළහන ලද්දී හෝ වේ නම්, කිසිවකුදු විසිනුදු වළහන ලද්දේ වේ නම්, ආපදාවෙහි උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
නවවැනි සේනාවාස ශික්ෂාපද යි.
6. 5. 10.
උය්යෝධික ශික්ෂාපදය
1. එසමයෙහි භාග්යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දෙතුන් රැයක් සේනායෙහි වසනුවෝ රණබිමට ද බලසෙන් ගණිනා තැනට ද සෙන් කඳවුරු බැඳි තැනට ද ඇණි දැකුමට ද යෙති. එක්තරා සවග මහණෙක් රණබිමට ගොස් ඊයෙන් විදින ලදුයේ වෙයි. මිනිස්සු එ මහණ දැකැ වෙළපූහ. “කිමෙක් ද? ස්වාමීනි! මනා යුද්ධයෙක් වී ද? නුඹ වහන්දෑ විසින් කෙතෙක් ලක්හු ලබන ලදහු දැ යි හේ මහණ තෙමේ ඒ මිනිසුන් විසින් වෙළපනු ලබන්නේ මකු විය.