6. 5. 10.
උය්‍යෝධික ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැතැ ජේතවන නම් අනේපිඬු සිටුහුගේ අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි වනාහි සවග මහණෝ දෙතුන් රැයක් සේනායෙහි වසනුවෝ රණබිමට ද බලසෙන් ගණිනා තැනට ද සෙන් කඳවුරු බැඳි තැනට ද ඇණි දැකුමට ද යෙති. එක්තරා සවග මහණෙක් රණබිමට ගොස් ඊයෙන් විදින ලදුයේ වෙයි. මිනිස්සු එ මහණ දැකැ වෙළපූහ. “කිමෙක් ද? ස්වාමීනි! මනා යුද්ධයෙක් වී ද? නුඹ වහන්දෑ විසින් කෙතෙක් ලක්හු ලබන ලදහු දැ යි හේ මහණ තෙමේ ඒ මිනිසුන් විසින් වෙළපනු ලබන්නේ මකු විය.
2. මිනිස්සු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ශ්‍රමණ ශාක්‍යපුත්‍රීයයෝ රණබිම බැලීම පිණිස ආවෝ ද? යම් බඳු ඇපි දිවෙල් හේතුයෙන් අඹුදරුවන්ගේ කාරණයෙන් රණබිමට යමු නම් එබඳු අපට ද අලාභයෙකැ, එබඳු අප විසිනුදු දුකසේ ලැබිය යුත්තෙකැ”යි. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ මිනිසුන්ගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහු මැ යි. යම් ඒ භික්‍ෂු කෙනෙක් අපිස් වූවෝ ... ඔහු ලමු කොට සිතති නුගුණ පවසති දොස් පතුරුවත්. “කෙසේ නම් සවග මහණෝ රණබිම දැකීම පිණිස ගියෝ” දැ යි ... සැබෑ ද මහණෙනි! තෙපි රණබිම දැකීම පිණිස යවු දැයි. සැබැවැ භාග්‍යවතුන් වහන්ස! භාග්‍යවත් බුදුහු විගැරහූ ... කෙසේ නම් හිස් පුරුෂයෙනි! තෙපි රණබිම දැකීම පිණිස ගියහු ද? හිස් පුරුෂයෙනි! මෙය අප්‍රසන්නයන්ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද වනාහි මහණෙනි! මේ සිකපදය උදෙසවු.
ඉදින් මහණෙක් දෙතුන්රැයක් සේනායෙහි වසන්නේ රණබිමට හෝ බලසෙන් ගණින තැනට හෝ සෙන් කඳවුරු බැඳි තැනට හෝ ඇණි දැකුමට හෝ යන්නේ නම් පචිති වේ යැයි.
3. දිරත්තතිරත්තං චෙ භික්ඛු සේනාය වසමානෝ; දෙතුන් රැයක් වසන්නේ;
උය්‍යෝධික නම්: යම් තැනෙකැ සම්ප්‍රහාරය දෙනු ලැබේ ද?
බලග්ග නම්: මෙතෙක් ඇත්තු යැ, මෙතෙක් අස්හු යැ, මෙතෙක් රියහු යැ මෙතෙක් පාබළ යැ.
සේනාබ්‍යුහ නම්: මෙහි ඇත්තු වෙත්වා, මෙහි අස්හු වෙත්වා, මෙහි රියහු වෙත්වා මෙහි පාබලහු වෙත්වා.
අණික නම්: ඇත් ඇණි යැ අස් ඇණි යැ රිය ඇණි යැ පාබළ ඇණි යැ තුන් ඇත්හු පැසුළු ඇත් ඇණි යැ තුන් අස්හු පැසුළු අස් ඇණි යැ තුන් රියහු පැසුළු රිය ඇණි යැ අවි ගත් අත් ඇති සිවු පුරිස්හු පැසුළු පාබළ ඇණිය යි.
දැකීම පිණිස යේ නම් දුකුළා ඇවැත් වෙයි. යම් තැනෙකැ සිටියේ බලා නම් පචිති ඇවැත් වෙයි. දසුන් උවසර හැරැපියා පුන පුනා බලා නම් පචිති ඇවැත් වේ.