6. 5. 5.
දුතියරහෝ නිසජ්ජ ශික්‍ෂාපදය
1. එසමයෙහි භාග්‍යවත් බුදුහු සැවැත් නුවර අනේපිඬු සිටුහුගේ ජේතවන නම් අරම්හි වැඩැ වෙසෙති. එසමයෙහි ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර එකලා වූයේ යහළුවාගේ ගෙට ගොස් ඔහුගේ එකලා වූ ඇඹේණිය සමඟ නොරඹුරෙහි නිසද්‍යා කෙළේ යැ. එකල්හි ඒ පුරුෂ තෙමේ ලමු කොට සිතයි, නුගුණ පවසයි, දොස් පතුරුවයි: “කෙසේ නම් ආර්‍ය උපනන්‍ද එකලා වූයේ මාගේ එකලා වූ ඇඹේණිය සමග නොරඹුරෙහි නිසද්‍යා කෙළේ” දැයි.
2. භික්‍ෂූහු ලමු කොට සිතන නුගුණ පවසන දොස් පතුරුවන ඒ පුරුෂයාගේ (අකීර්ත්ති ශබ්දය) ඇසූහ. යම් භික්‍ෂු කෙනෙක් අපිස් වූවාහු ... ඔහු ලමු කොට සිතති, නුගුණ පවසති, දොස් පතුරුවත්. “කෙසේ නම් ආයුෂ්මත් උපනන්‍ද ශාක්‍යපුත්‍ර එකලා වූයේ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කෙළේ” දැයි ... “සැබෑ ද උපනන්‍දයෙනි, තෙපි එකලා වැ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කළහු දැයි, සැබැවැ භාග්‍යවතුන් වහන්ස, භාග්‍යවත් බුදුහු ගැරහූ සේක ... කෙසේ නම් හිස් පුරුෂය, තෙපි එකලා වැ එකලා වූ මාගමක සමඟ නොරඹුරෙහි නිසද්‍යා කළහු ද? හිස් පුරුෂය, මෙය අප්‍රසන්නයන් ගේ ප්‍රසාදය පිණිස හෝ නො වෙයි ... මෙසේ ද මහණෙනි, මේ සිකපදය උදෙසවු.
යම් මහණෙක් එකලා වූයේ එකලා වූ මාගමක සමග නොරඹුරෙහි නිසද්‍යා කරන්නේ නම් පචිති වේ යැයි.
3. යො පන: යම් යම්බඳු ... භික්ඛු ... මෙතෙමේ මේ අර්‍ත්‍ථයෙහි ලා අදහස් කරන ලද භික්‍ෂු යි.
මාතුගාම නම්: මිනිස්මාගම යි, යකිනි නො වෙයි, ප්‍රේතී නො වෙයි, තිරිසන්ගිය මාගම නො වෙයි. සුබැසි දුබැසි දුළුල් නො දුළුල් තෙපුල් දන්නට ප්‍රතිබල දැනුමැත්තී යි.
සද්ධිං: එක් වැ
ඒකෝ ඒකාය: මහණ ද වෙයි, මාගම ද වෙයි.
රහෝ නම්: ඇසට නො හමු යැ, කනට නො හමු යැ, ඇසට නො හමුව නම්: ඇස හෝ කසනු ලබන කල්හි බැම හෝ නඟනු ලබන කල්හි හිස හෝ ඔසවනු ලබන කල්හි බලන්නට නො හැකි වෙයි. කනට නො හමුව නම්: පියවිබස් අසන්නට නො හැකි වෙයි.
නිසජ්ජං කප්පෙය්‍ය: මාගම හුන් කල්හි මහණ වෙතැ හුන්නේ හෝ වෙතැ හොත්තේ හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. මහණ හුන් කල්හි මාගම වෙතැ හුන්නී හෝ වෙතැ හොත්තී හෝ වේ නම් පචිති ඇවැත් වෙයි. දෙදෙන මැ හුන්නා හු හෝ දෙදෙන මැ හොත්තාහු හෝ වෙත් නම් පචිති ඇවැත් වේ.
මාගමකෙරෙහි මාගමක යන සන් ඇතියේ එකලා වූයේ එකලා වූවක සමඟ නොරඹුරෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගම කෙරෙහි විමති ඇතියේ එකලා වූයේ එකලා වූවක සමග නොරඹුරෙහි හිඳී නම් පචිති ඇවැත් වෙයි. මාගමක කෙරෙහි නොමාගම් සන් ඇතියේ එකලා වූයේ එකලා වූවක සමඟ නොරඹුරෙහි හිඳීම කෙරේ නම් පචිති ඇවැත් වේ.
එකලා වූයේ එකලා වූ යකින්නක හෝ ප්‍රේතියක හෝ පණ්ඩකයක්හු හෝ තිරිසන්ගිය මිනිස් සිරිරි දරන ඉතිරියක හෝ සමඟ නොරඹුරෙහි හිඳී නම් දුකුළා ඇවැත් වේ.
නොමාගම කෙරෙහි මාගමක යන සන් ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නොමාගම කෙරෙහි විමති ඇතියේ නම් දුකුළා ඇවැත් වෙයි. නො මාගම කෙරෙහි නොමාගමක යන සන් ඇතියේ නම් ඇවැත් නැති.
යම් කිසිදු දැනුමැති පිරිමි දෙවැන්නෙක් වේ නම්, සිටී නම්, නො හිඳී නම්, නොරඹුරෙහි, ලෝකාස්වාදරතියක් නැතියේ නම්, අනෙකක් කරනුයේ හිඳී නම් ඇවැත් නැත. උම්මත්තකයහට ආදිකම්මිකයහට ඇවැත් නැති.
පස්වැනි දුතිය රහෝනිසජ්ජ ශික්‍ෂාපද යි.